කෙටි කලක් තුළ 'රාජ්‍යතාන්ත්‍රික ජයග්‍රහණ රැසක්'
ඉතාමත් කෙටි කාලයක් තුල රාජ්‍යතාන්ත්‍රික ජයග්‍රහණ රැසක් ලබා ගැනීමට නව ආණ්ඩුව සමත් වී ඇතැයි නියෝජ්‍ය විදේශ අමාත්‍ය අජිත් පී පෙරේරා පවසයි.
ඔහු ඒ බව කියා සිටියේ, ශ්‍රී ලංකාවේ නිල සංචාරයක යෙදී සිටින එක්සත් ජනපද සහකාර රාජ්‍ය ලේකම්වරිය සමඟ පැවැත්වූ සාකච්ඡා පිළිබඳව මාධ්‍යවේදීන් හමුවේ අදහස් දක්වමින්.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලය විසින් පවත්වනු ලබන යුද අපරාධ චෝදනා පරීක්ෂණය පිළිබඳව සහකාර රාජ්‍ය ලේකම්වරිය සමඟ සාකච්ඡා කළේ දැයි සංදේශයේ අසාම් අමීන් කළ විමසීමට පිළිතුරු දුන් නියෝජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ ඒ පිළිබඳව වැඩි විස්තර හෙළි කළ නොහැකි බවයි.
"නමුත් කියන්න ඕන එක දෙයක් තියනවා. අද සාකච්ඡා ඉතාමත්ම සාර්ථකයි. මේ රටට හොඳ කාලයක් අනාගතයේ උදා වෙනවා," යනුවෙන්ද නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා සඳහන් කළේය.
ජෝන් කෙරී සංචාරය
"අපි මේ දින ගණන තුල රාජ්‍යතාන්ත්‍රික ජයග්‍රහණ ගණනාවක් ලබා ගෙන තියෙනවා," ඔහු වැඩිදුරටත් පැවසීය.

ඡායාරූප මූලාශ්‍රය, Ajith P Perera
ඇමෙරිකානු රාජ්‍ය ලේකම්වරයාට ශ්‍රී ලංකාවට පැමිණෙන මෙන් ආරාධනා කරන බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
ඉතාමත් කෙටි කාලයක් තුල බොහෝ දේ ඉටුකිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අගමැති රනිල් වික්‍රමසිංහ සමත් වී ඇතැයි සහකාර රාජ්‍ය ලේකම් නිශා බිස්වාල් සඳහන් කළාය.
කොළඹ දී විදේශ අමාත්‍ය මංගල සමරවීර සහ නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා හමු වී සාකච්ඡා පැවැත්වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් හමුවේ අදහස් දැක්වූ ඇය, නව ආණ්ඩුව ඉදිරියේ තිබෙන්නේ ඉතා දුෂ්කර මාර්ගයක් බවත්, එය බොහෝ අභියෝගවලට මුහුණ දී සිටින බව තමන්ට වැටහෙන බවත් සඳහන් කළාය.
'අලුත් තලයකට'
ඒ අභියෝගවලට මුහුණ දීමෙහිලා එක්සත් ජනපදය මිතුරකු සහ සහකරුවකු ලෙසින් ශ්‍රී ලංකාව සමඟ සිටින බව ද ඇය කියා සිටියාය.
එහිදී අදහස් දැක්වූ විදේශ අමාත්‍ය මංගල සමරවීර, දෙරට අතර සමීප සම්බන්ධතා අලුත් තලයකට ගෙනයාම සිය අපේක්ෂාව බව සඳහන් කළේය.
"ලබන පෙබරවාරි 12 වැනි දින රාජ්‍ය ලේකම් ජෝන් කෙරී හමු වූ විට මේ සංවාදය තවදුරටත් පවත්වාගෙන යාමට මම බලාපොරොත්තු වෙනවා," යනුවෙන්ද විදේශ අමාත්‍යවරයා මංගල සමරවීර සඳහන් කළේය.
එක්සත් ජනපදය සහ ශ්‍රී ලංකාව අතර මිතුදම, ශ්‍රී ලංකාව නිදහස ලැබූ අවස්ථාවේ පටන් පරම්පරා ගණනාවක් පුරා දිව යන්නක් බව සඳහන් කළ නිශා බිස්වාල් සහකාර රාජ්‍ය ලේකම්වරිය, ශ්‍රී ලංකාවේ නිෂ්පාදනවල ප්‍රධානම ගැනුම්කරුවා ඇමෙරිකාව බවත් සිහිපත් කළාය.