අරලියගහ මැදුරේ සිටියා; කුමන්ත්‍රණයක් වුනේ නෑ

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ජනපතිවරණයෙන් පරාජය වීමෙන් අනතුරුව දිගටම බලයේ රැඳී සිටීමට කුමන්ත්‍රණයක් කළ බවට එල්ල වන චෝදනාව සම්පූර්ණ අසත්‍යයක් බව බස්නාහිර පළාත් සභා මන්ත්‍රී උදය ගම්මන්පිල ප්‍රකාශ කරයි.

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ, හිටපු විදේශ අමාත්‍ය ජීඑල් පීරිස් සහ තමන් එම කුමන්ත්‍රණයට සම්බන්ධ බවට විදේශ අමාත්‍ය මංගල සමරවීර රහස් පොලිසියට කර තිබෙන චෝදනාව 'විහිළුවක්' බවද පළාත් සභා මන්ත්‍රීවරයා බීබීසී සංදේශයට පැවසීය.

ජනපතිවරණය දින රාත්‍රියේ පැය හතරක පමණ කාලයක් තමන් අරලියගහ මන්දිරයේ සිටි බව පිළිගන්නා ඔහු, ඒ අවස්ථාවේ තමා දුටු සියල්ල රහස් පොලිසියට කට උත්තරයක් දෙමින් හෙළි කළ බවත් සඳහන් කළේය.

ඇඳිරි නීතිය පැණවීම?

"ඒ වගේම ආරක්ෂක ලේකම්වරයා, ත්‍රිවිධ හමුදාපතිවරු, ඒ වගේම බාලසූරිය මහත්තයා (මහින්ද බාලසූරිය) ඇවිල්ල ඉන්නවා දැක්ක," යනුවෙන්ද ඔහු කියා සිටියේය.

හමුදාව යොදවා ගෙන දිගටම බලයේ රැඳී සිටීමට හිටපු ජනාධිපතිවරයා කුමන්ත්‍රණය කළ බවට විදේශ අමාත්‍යවරයා චෝදනා කරයි
ඡායාරූප ශීර්ෂ වැකිය, හමුදාව යොදවා ගෙන දිගටම බලයේ රැඳී සිටීමට හිටපු ජනාධිපතිවරයා කුමන්ත්‍රණය කළ බවට විදේශ අමාත්‍යවරයා චෝදනා කරයි

මැතිවරණයෙන් ආණ්ඩුව පෙරලෙන විට විපක්ෂය කලබල ඇති කිරීමට ඉඩ තිබුණු බැවින් ඇඳිරි නීතිය පැණවීමේ හැකියාව එහිදී සාකච්ඡාවට බඳුන් වූ බවත් උදය ගම්මන්පිල පළාත් සභා මන්ත්‍රීවරයා සඳහන් කළේය.

'බොහෝ දෙනෙකුගේ' එම යෝජනාව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ප්‍රතික්ෂේප කළ බවයි, ඔහු පවසන්නේ.

කෙසේ නමුත් රටේ ඇඳිරි නීතිය පනවා හමුදාව යෙදවීමේ වැඩපිළිවෙලක් පිළිබඳව 'මම ඉන්න වෙලාවේ' සාකච්ඡා නොකෙරුණු බවත් පළාත් සභා මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසීය.

අගවිනිසුරු මොහාන් පීරිස් ඒ අවස්ථාවේ එහි සිටියා දැයි බීබීසී යේ සරෝජ් පතිරණ කළ විමසීමකදී ඔහු කියා සිටියේ ඒ මොහොතේ අගවිනිසුරුවරයා එහි සිටියේද යන්න තමන් නොදන්නා බවයි.