ජනාධිපතිට තියෙන්නේ බණ්ඩාරනායක භීතියක් - චන්ද්‍රිකා

ජනාධිපති මහින්ද රාජපක්ෂට බණ්ඩාරනායක භීතියක් ඇති බව හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග පවසයි.

මීළඟ ජනාධිපතිවරණයේදී තමාට තරගය ඇත්තේ විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන සමග නොව හිටපු ජනාධිපතිනිය චන්ද්‍රිකා බණ්ඩාරනායක සමග බව සිකුරාදා ජනාධිපති මහින්ද රාජපක්ෂ පුවත්පත් කතෘවරුන් හමු වූ අවස්ථාවේ පවසා තිබුණි.

ජනාධිපතිවරයාගේ එම ප්‍රකාශය සම්බන්ධයෙන් සංදේශය හිටපු ජනාධිපතිවරියගෙන් විමසා සිටි අතර එහිදී ඇය කියා සිටියේ ‘ජනාධිපතිතුමාගේ තියන භීතිකාවලට මට නම් බෙහෙත් නැහැ. මේ හොදට පැහැදිලි අපේක්ෂකයෙක් ඉන්නවා මෛත්‍රිපාල සිරිසේන කියලා. එයාට චන්ද්‍රිකා භීතියක් තියනවා නම්, බණ්ඩාරනායක භීතියක් තියනවා නම් ඒකට මට කරන්න දෙයක් නැහැ’ යනුවෙන්.

බස්නාහිර පළාත් සභා මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ඉවත් වී විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේනට සහාය ලබා දෙන බව ප්‍රකාශයට පත් කළ අවස්ථාවට චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග හිටපු ජනාධිපතිනිය එක් වී සිටියාය.

‘අද මම මෙතනට අවේ මෙතුමියට ධෛර්යක් දෙන්න. එතුමිය එනවා කියලා දැන ගත්තහම අද දවසෙත් එතුමියට තර්ජන තිබ්බා. එතුමියගේ ආරක්ෂාවට මම ආවේ’ යනුවෙන් හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග වැඩි දුරටත් පැවසුවාය.