මනස පිරිසිදු නිසා මට දැන් සතුටුයි - මෛත්‍රීපාල
එන්න එන්නම වැඩිවෙමින් පවතින ජනතා සහයෝගය මෙන්ම එල්ල වෙමින් තිබුණු 'බරපතල පීඩනය' අඩුවීමත් හමුවේ සිය 'මනස පිරිසිදු වීම' හේතුවෙන් දැන් ඉතා සතුටින් කල් ගෙවන බව විපක්ෂයේ පොදු අපේක්ෂකයා පවසයි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු මහ ලේකම් මෛත්‍රීපාල සිරිසේන මන්ත්‍රීවරයා ඒ බව කියා සිටියේ, මහනුවරදී මහනාහිමිවරුන් හමුවී ආශීර්වාද ලබාගැනීමෙන් අනතුරුව බීබීසී සංදේශය සමඟ විශේෂ සාකච්ඡාවකට එක්වෙමින්.
"මුළු මහත් ජාතිය සහ රටේ ජනතාව වෙනුවෙන් විශාල වගකීමක් සහ යුතුකමක් ඉටු කිරීමේ අවස්ථාව ලැබුනා. ඒ නිසා මම ඉතාමත්ම සතුටින් ඉන්නේ," යනුවෙන්ද ඔහු සඳහන් කළේ ප්‍රසාද් පූර්ණිමාල් ජයමාන්න සමඟ අදහස් දක්වමින්.
ලබන ජනවාරි අට වැනි දින පැවැත්වෙන ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකාවේ ඡන්දදායකයන් තමන්ට 'විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදෙන' බව සහතික බවද හිටපු සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන පැවසීය.
පොදු අපේක්ෂකයා වශයෙන් තෝරා ගැනුන නොවැම්බර් 20 වැනි දින ප්‍රතිඥා දුන් විලසටම ජනාධිපති ලෙසින් තේරී පත්වී දින සියයක් ඇතුලත විධායක ජනාධිපති පදවිය අහෝසි කරන බවට හිටපු අමාත්‍යවරයා යළිත් වරක් ප්‍රතිඥා දුන්නේය.
ප්‍රසිද්ධියේ විවිධ අදහස් දැක්වුවත්, විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළ යුතු බව කැබිනට් මණ්ඩලයේ සියලු සාමාජිකයන්ගේ මතය බවද විපක්ෂයේ පොදු අපේක්ෂකයා වැඩිදුරටත් කියා සිටියේය.