ජිනීවා පරීක්ෂණයේ වාචික වාර්තාව මේ සතියේ
ශ්‍රී ලංකාවේ යුද්ධයේ අවසාන භාගයේ සිදු වූ බව පැවසෙන යුද අපරාධ ඇතුළු බරපතල මානව හිමිකම් උල්ලංඝණයන් පිළිබඳව විභාග කරන පරීක්ෂණ මඬුල්ලේ අන්තර්වාර වාචික වාර්තාව මේ සතියේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
මහ කොමසාරිස් සයීඩ් රාඩ් අල්-හුසේන් කුමරු විදේශගතව සිටින බැවින් නියෝජ්‍ය මහ කොමසාරිස්වරිය විසින් ලබන බදාදා සවස් යාමයේ හෝ බ්‍රහස්පතින්දා ශ්‍රී ලංකාව සම්බන්ධ වාචික වාර්තාව ඉදිරිපත් කෙරෙනු ඇතැයි බලාපොරොත්තු වන බව ජිනීවා නුවර සිටින මාධ්‍යවේදී සුනන්ද දේශප්‍රිය බීබීසී සංදේශයට පැවසීය.

තවත් රටවල් ගණනාවක් සම්බන්ධයෙන් පැවැත්වෙන පරීක්ෂණ පිළිබඳ පොදු වාර්තාවකට ශ්‍රී ලංකාව සම්බන්ධ වාචික වාර්තාවද ඇතුලත් වනු ඇතැයි පවසන ඔහු, ඉන් අනතුරුව ශ්‍රී ලංකාව සම්බන්ධ කෙටි ලිඛිත වාර්තාවක් ජිනීවා සමුළුවේ නියෝජිතයන් අතර බෙදා හැරීමට නියමිත බවත් සඳහන් කළේය.
ශ්‍රී ලංකාව සම්බන්ධ පරීක්ෂණ පවත්වන කමිටුව ඔක්තෝබර් 31 වැනි දින වන විට සිය පරීක්ෂණය නිමා කළ යුතුව තිබේ.
සාක්ෂි විශ්ලේෂණය කිරීමට, චෝදනා සනාථ වූයේ නම් චුදිතයන් කවුරුන්ද යන්න තීරණය කිරීමට සහ එම චෝදනා සම්බන්ධ ශ්‍රී ලංකා ආණ්ඩුවේ ප්‍රතිචාරය කවරක්ද යන කරුණු ඇතුලත් පරීක්ෂණයේ අවසාන වාර්තාව ලබන මාර්තු මාසයේ මානව හිමිකම් මණ්ඩලයට ඉදිරිපත් කළ යුතුව තිබෙන බැවින්, පරීක්ෂණය පවත්වන කාල සීමාව දීර්ඝ කිරීමේ හැකියාවක් ඇති හැඩක් දකින්නට නැති බවද සුනන්ද දේශප්‍රිය පවසයි.
කමිටුවේ සාක්ෂි විමසීම ජනමාධ්‍ය ඉදිරියේ ප්‍රසිද්ධියේ සිදු නොවුනත් බොහෝ දෙනා කමිටුව ඉදිරියට පැමිණ සහ ලිඛිතව කරුණු ඉදිරිපත් කරමින් සිටින බව සැලකේ.