නීතිවේදීන්ගේ 'ආරක්ෂාව තහවුරු කරන්න'
නාමල් රාජපක්ෂ සහ මංජුල පතිරාජ මානව හිමිකම් නීතිවේදීන්ට එල්ල වූ මරණ තර්ජන දැඩිව හෙලා දකින නීතිවේදී එකමුතුව, ඔවුන් දෙදෙනා සහ ලක්ෂාන් ඩයස් නීතිවේදියාගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා වහාම පියවර ගන්නා මෙන් පොලිස්පතිවරයා ගෙන් ඉල්ලීමක් කරයි.
නීතිවේදී එකමුතුව එම ඉල්ලීම කරන්නේ සෙනසුරාදා රාත්‍රියේ නාමල් රාජපක්ෂ නීතිවේදියාගේ කාර්යාලයට පැමිණි මුහුණු ආවරණය කර ගත් දෙදෙනකු ඔවුන්ට මරණ තර්ජන එල්ල කිරීම පිළිබඳව නිවේදනයක් නිකුත් කරමින්.
නීතිවේදීන් තිදෙනාට තර්ජන එල්ල කරන පුද්ගලයන් සොයා ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙසත් නීතිවේදී එකමුතුව පොලිස්පතිවරයාගෙන් ඉල්ලා සිටියි.

ඡායාරූප මූලාශ්‍රය, Photo KS Udayakumar
බීබීසී සංදේශයට සිදුවීම විස්තර කළ නීතිඥ රාජපක්ෂ: "ඒ පුද්ගලයා මට එකපාරටම තර්ජනය කළා උඹයි, මංජුල පතිරාජ නීතිඥ මහත්තයයි දෙන්න දඟලනවා වැඩියි. හාමුදුරුවන්ට විරුද්ධව වැඩ කරන්න එපා. එහෙම වුනොත් අන්තිම වතාවට කියන්නේ, පෙට්ටි දෙකක් ලෑස්ති කර ගනින් කියලා."
බොදු බල සේනා සංවිධානයට එරෙහිව වටරැක විජිත හිමියන් ඉදිරිපත් කළ පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටියේ රාජපක්ෂ සහ පතිරාජ නීතිවේදීන් දෙදෙනාය.
කෙසේ නමුත් තමන් ඔවුන්ට තර්ජනය කිරීමට සිය සංවිධානයේ කිසිදු සම්බන්ධයක් නැතැයි බොදු බල සේනා සංවිධානයට සම්බන්ධ නීතිවේදියෙක් තමන් අමතා කියා සිටි බවත් නීතිවේදී නාමල් රාජපක්ෂ සංදේශයට පැවසීය.
අලුත්ගම ගැටුම්වලදී මියගිය පිරිසගේ මරණ පරීක්ෂණවල පැවති බරපතල දෝෂ පෙන්වා දීමටද රාජපක්ෂ සහ පතිරාජ නීතිවේදීහු ඉදිරිපත් වූහ.
තර්ජනය කිරීමෙන් අනතුරුව ඔවුන් දෙදෙනා හඳුනා නොගත් යතුරු පැදියකින් පලා ගොස් ඇති බව පවසන නීතිවේදී එකමුතුව, මානව හිමිකම් නීතිවේදීන් තිදෙනාටම අගෝස්තු 4 වැනි දිනත් මරදාන පොලිස් ස්ථානයේදී පොලිස් ස්ථානාධිපතිවරයා ඉදිරියේදී මැරයන් පිරිසක් විසින් තර්ජනය කරන ලද බවත් නීතිවේදී එකමුතුව සිහිපත් කරයි.