අලුත්ගම පෙත්සම් විභාගය ඔක්තෝබරයේ

අලුත්ගම ප්‍රදේශයේ පසුගිය දා ඇතිවූ ගැටුම් වැළැක්වීමට පොලිසිය කියා නොකිරීම නිසා මූලික අයිතිවාසිකම් කඩ වූ බව පවසමින් ඉදිරිපත් කර ඇති පෙත්සම් විභාගය ලබන ඔක්තෝබර් මස 17 වන දා ආරම්භ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර ඇත.

එම පෙත්සම් ඉදිරිපත් කරනු ලැබ තිබුණේ අලුත්ගම ප්‍රදේශයේ පදිංචි මුස්ලිම් ජාතිකයින් පිරිසක් විසිනි.

පෙත්සම් කරුවන් පවසන්නේ අලුත්ගම ප්‍රදේශයේ නො සන්සුන් වාතාවරණයක් පැවති අවස්ථාවේ බොදු බල සේනා ඇතුළු සංවිධාන කිහිපයක් මුස්ලිම් විරෝධී ජාතිවාදී හැඟීම් අවුස්සන ආකාරයේ රැස්වීමක් පැවැත්වීම කෝලාහල පැතිරී යාමට හේතු වූ බවයි.

එම රැස්වීම පැවැත්වීම වැළැක්වීමට පොලිසිය ක්‍රියා කළේ නම් අලුත්ගම අවාසනාවන්ත සිද්ධිය වළක්වා ගැනීමට හැකියාව තිබුණ බවයි පෙත්සම්කාර පාර්ශවයේ නීතිවේදී ශිරාස් නූර්දීන් බීබීසී සංදේශයට කියා සිටියේ.

බොදු බල සේනා

‘බොදු බල සේනා ඇතුළු සංවිධාන කිහිපයක් අලුත්ගම නගරය මැද ජාතිවාදය අවුස්සන ආකාරයේ අදහස් පළ කරමින් රැස්වීමක් පැවැත්වුවා. එය නතර කරන මෙන් අපි ඉල්ලා සිටියා. එහෙත් පොලිසිය නීතිය ක්‍රියාත්මක කළේ නැහැ. පොලිසිය නිසියාකාරව නීතිය ක්‍රියාත්මක කළා නම් මෙවැනි තත්වයක් උද්ගත වන්නේ නැහැ’ නීතිවේදියා පවසයි.

‘අලුත්ගම ගැටුම්වලට සම්බන්ධ පුද්ගලයින්ගේ ඡායාරූප ප්‍රකාශයට පත් වී තිබෙනවා. ඒවා අපි අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා. එහෙත් මේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් මෙතෙක් අත් අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කිරීමට පොලිසිය ක්‍රියාත්මක වී නැහැ’ පෙත්සම්කරුවෝ ශ්‍රේෂ්ඨාධිකරණයට කියා සිටිති.

එම පෙත්සම් සලකා බැලීම ලබන මස 17 වන දා පැවැත්වීමට තීන්දු කල අධිකරණය එදින ඊට අදාළ කරුණු දක්වන මෙන් රජයේ පාර්ශවයට ද නියම කළේය.

පොලිස්පති,බස්නාහිර පළාත භාර නියෝජ්‍ය පොලිස්පති සහ නීතිය සහ සාමය පිළිබඳ අමාත්‍යංශයේ ලේකම් ඇතුළු පිරිසක් අදාළ පෙත්සම්වල වග උත්තර කරුවන් ලෙස නම් කරනු ලැබ ඇත.