විධායකය අහෝසි කිරීමට පොදු අපේක්ෂකයෙක්?
වත්මන් ජනාධිපතිවරයා විසින් විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමට කටයුතු නොකරන්නේ නම් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම ප්‍රධාන අරමුණ කොට ඉදිරි ජනාධිපතිවරණයට පොදු අපේක්ෂකයෙකු ඉදිරිපත් කරන බව සාධාරණ සමාජයක් සඳහා වු ජාතික ව්‍යාපාරයේ සභාපති පූජ්‍ය මාදුළුවාවේ සෝභිත නාහිමියෝ පවසති.
සාධාරණ සමාජයක්
උන්වහන්සේ ඇතුළු නියෝජිත පිරිසක් මල්වතු සහ අස්ගිරි මහ නාහිමිවරුන් බැහැදැකීමෙන් පසු මහනුවර දී මාධ්‍ය හමුවක් පවත්වමින් කියා සිටියේ සාධාරණ සමාජයක් සඳහා වු ජාතික ව්‍යාපාරය නිරන්තරයෙන්ම ප්‍රජාතන්ත්‍රවාදය සහ පොදු යහපත උදෙසා කැපවී සිටින බවත් ඒ සඳහා සියලු දෙනාගේම සහයෝගය අපේක්ෂා කරන බවත්.
වත්මන් ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාත් ප්‍රතිඥා දී ඇති බවයි උන්වහන්සේ පෙන්වා දුන්නේ.
දූෂිත සමාජයක්
“ප්‍රජාතන්ත්‍රවාදයේ විනාශයට, සමාජය අසාධාරණයෙන් පිරිච්ච තැනක් බවට පත් කිරීමට, දූෂිත සමාජයක් ගොඩ නැගීමට හේතුවෙච්ච පළමුවැනි කාරණය විධායක ජනාධිපතිධුරය. විධායක ජනාධිපතිධුරය, ජනාධිපතිතුමාත් නැතිකරනවයි කියල පොරොන්දුවෙච්ච කෙනෙක්”
රට දේශපාලනීයකරණයවීමෙන් බේරා ගැනීම පිණිස මුළු පාර්ලිමේන්තුව එක්ව සම්මත කර ගත් 17 වැනි ව්‍යවස්ථා සංශෝධනය, 18 වැනි සංශෝධනය ගෙන ඒමත් සමඟ අහෝසි වී ගිය බව පැවසූ උන්වහන්සේ එය යළිත් ස්ථාපනය කිරීමේ අවශ්‍යතාව ද පෙන්වා දුන්හ.