ජනපති වුනොත් විධායක ක්‍රමය 'අහෝසි කරනවා'
තමා ජනාධිපති පදවියට තේරී පත්වුවහොත් මාස හයක් ඇතුලත ශ්‍රී ලංකාවේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන බව මාදුළුවාවේ සෝභිත හිමියෝ පවසති.
සාධාරණත්වය සඳහා වූ ජාතික ව්‍යාපාරයේ නායක හිමියන් එම ප්‍රකාශය කළේ, ජනපතිවරණයට පොදු අපේක්ෂකයකු ඉදිරිපත් කිරීම පිළිබඳව එම ව්‍යාපාරයේ නායකත්වයෙන් සාකච්ඡා පැවැත්වෙන බවට පලවන වාර්තා පිළිබඳව බීබීසී සංදේශය විමසීමක් කළ අවස්ථාවේ.

ඡායාරූප මූලාශ්‍රය, newsfrist.lk
ශ්‍රී ලංකාවේ සාධාරණ සමාජයක් බිහි කිරීම පිණිස විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම අත්‍යවශ්‍ය සාධකයක් බව පෙන්වාදෙන මාදුළුවාවේ සෝභිත හිමියෝ, එය අහෝසි කරන මෙන් සිය ව්‍යාපාරය මුලින්ම ජනාධිපති මහින්ද රාජපක්ෂගෙන් ඉල්ලා සිටින බවද පැවසූහ.
ජනාධිපතිවරයා එය ප්‍රතික්ෂේප කරන්නේ නම් පමණක් විධායක ජනාධිපති ක්‍රමය හෝසි කිරීම පිණිස ඉදිරිපත් කළ යුතු පොදු අපේක්ෂකයා කවුරුන්ද යන්න ඉදිරියේදී තීරණය කෙරෙනු ඇති බවයි, සෝභිත හිමියන් සංදේශයට කියා සිටියේ.
'කරුණාත් සමාව ඉල්ලිය යුතුයි'
උගතුන්, බුද්ධිමතුන් සහ වෘත්තිකයන් පමණක් නොව සියලුම දේශපාලන පක්ෂ පවා විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ අවශ්‍යතාවය අනුමත කරන බවද එහිමියෝ සඳහන් කළහ.
ආණ්ඩු පක්ෂයට සම්බන්ධව සිටින ඇතැම් ඇමතිවරුන් සහ කතානායක චමල් රාජපක්ෂ පවා විධායක ජනපති ක්‍රමය අහෝසි කිරීමේ අවශ්‍යතාවය පෙන්වා දී තිබෙන බවද සාධාරණත්වය සඳහා වූ ජාතික ව්‍යාපාරයේ නායක හිමියෝ පවසති.

සිය ව්‍යාපාරය ඉදිරිපත් කරන යෝජනාවට ජනාධිපති මහින්ද රාජපක්ෂ එකඟත්වය පළ කරන්නේ නම් එවිට ඉදිරි මැතිවරණයකදී තමන්ගේ සහායද ජනාධිපති රාජපක්ෂට හිමි වන බව සෝභිත හිමියෝ සඳහන් කළහ.
අසූව දශකයේ අග භාගයේදී ජනතා විමුක්ති පෙරමුනේ සාමාජිකයන් විසින් කරන ලද මනුෂ්‍ය ඝාතන ඇතුළු 'සිදු නොවිය යුතුව තිබුණු දේ' සම්බන්ධයෙන් පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා සමාව ඉල්ලීම පිළිබඳව විමසූ අවස්ථාවේ මාදුළුවාවේ සෝභිත හිමියන් කියා සිටියේ එය 'ඉතාමත් වැදගත් පියවරක්' බවයි.
"හැම දෙනාගෙන්ම වැරදි සිද්ද වෙනවනේ. සමාව ඉල්ලීම හරිම වැදගත්," යනුවෙන් එහිමියෝ පැවසූහ.
කරුණා අම්මාන් වැනි හිටපු එල්ටීටීඊ නායකයන්ද කොටි සංවිධානය විසින් කරන ලද මනුෂ්‍ය ඝාතන ඇතුළු අපරාධ සම්බන්ධයෙන් "අඩුම තරමින් ජනතාවගෙන් සමාව ඉල්ලිය යුතුව" තිබුණු බවද උන්වහන්සේ පැවසූහ.