විධායක ක්‍රමයට 'ජනපති මහින්දත් විරුද්ධයි'

ඡායාරූප මූලාශ්‍රය, newsfrist.lk

ජනාධිපති මහින්ද රාජපක්ෂ විධායක ජනාධිපති ධුරය අහෝසි කරන්නේ නම් ඉදිරි ජනාධිපතිවරණයට පොදු අපේක්ෂකයෙක් ඉදිරිපත් කිරීමේ අවශ්‍යතාවක් නොමැති බව මාදුළුවාවේ සෝභිත හිමියෝ පැවසූහ.

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කර පාර්ලිමේන්තුවට බලය පැවරෙන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් බිහි කිරීම පොදු අපේක්ෂකයාගේ කාර්ය භාරය බව කියා සිටින උන්වහන්සේ ආණ්ඩුව පෙරළීමේ අදහසක් නැතැයි ද පැවසූහ.

"මේ පොදු අපේක්ෂකයා ඉන්නේ හය මාසයයි, ඊට පස්සේ පාර්ලිමේන්තුවට බලය පවරා දී ඉවත් විය යුතුයි," යනුවෙන් පවසන සෝභිත හිමියෝ, වර්තමාන ව්‍යවස්ථාවට, එය නිර්මාණය කළ එක්සත් ජාතික පක්ෂය, මහා නායක මා හිමිවරු, දේශපාලන පක්ෂ, සිවිල් සංවිධාන, වර්තමාන ජනාධිපති මහින්ද රාජපක්ෂ මෙන් ම රටේ සියලු ජනතාව ද විරෝධය දක්වන බව කියා සිටිය හ.

"මහින්ද රාජපක්ෂ කොළඹ සිට කතරගමට ගියෙත් මේ ව්‍යවස්ථාවට විරුද්ධව," බව සිහිපත් කරන සෝභිත හිමියෝ මහින්ද චින්තනය යටතේ පාර්ලිමේන්තුවට බලය පවරන බව ප්‍රකාශ කර ඇතැයි ද පෙන්වා දුන්හ.

විපක්ෂයේ පොදු අපේක්ෂකයා පිළිබඳ තවමත් තීරණයක් ගෙන නැතැයි පවසන සෝභිත හිමියෝ පොදු අපේක්ෂකයා පිළිබඳ කතා කිරීමට කල් වැඩි බවද පවසති.