එජාප නිරීක්ෂණ චාරිකාවට අමුතු පිළිගැනීමක්
මහජනතාවට සේවා සපයන රාජ්‍ය ආයතනවල සිදු වන අඩුපාඩු සොයා බැලීමේ අරමුණින් එජාප මන්ත්‍රීවරුන් විසින් සිදු කෙරෙන නිරීක්ෂණ චාරිකාවේ තවත් එක් පියවරක් ලෙස අද සඳුදා මරදාන දුම්රිය මූලස්ථානයට පැමිණි අවස්ථාවේදී එහි උණුසුම් වාතාවරණයක් හට ගෙන තිබේ.
එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන්ගේ පැමිණීමට යම් කිසි පිරිසක් විරෝධය පළ කිරීම ඊට හේතුවයි.
එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පෙරේරා පවසන්නේ ඔවුන්ට එල්ල වූ විරෝධතාව ආණ්ඩුවේ අවශ්‍යතාව මත සංවිධානය කරන ලද්දක් බවයි.
ආණ්ඩුවේ අවශ්‍යතාව
‘අපි ඒ ස්ථානයට එන විට ඔවුන් ඒ ස්ථානය මග හැර ගියා, අපි පරිශ්‍රය ඇතුළට ගිය විටයි ඔවුන් විරෝධතාව දියත් කලේ, ඔවුන් සියලු දෙනාම රත්මලාන දුම්රිය අංගනයේ සිට පැමිණි තාවකාලික සේවකයන්. ඔවුන්ට කියලා තියෙන්නේ මේ විරෝධතාවයට සහභාගී වීම ඔවුන්ගේ රැකියාව ස්ථිර වීමට බලපාන බව’ යනුවෙන් අජිත් පෙරේරා මන්ත්‍රීවරයා වැඩි දුරටත් පවසයි.
සඳුදා උදෑසන එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පානදුර දුම්රිය ස්ථානයේ සිට සිය නිරීක්ෂණ චාරිකාව අරම්භ කළහ.
රැකියා ස්ථාන බලා පිටත් වීමට පානදුර දුම්රිය ස්ථානයට පැමිණ සිටි මගීන්ට ගමන් කිරීම සඳහා දුම්රියේ කිසිදු ඉඩක් නොමති බව නිරීක්ෂණ චාරිකාවට එක් වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මාධ්‍යවේදීන් හමුවේ කියා සිටියේය.
ප්‍රමුඛත්වය
මහජනතාවට සේවා සපයන ආයතනවලට ප්‍රමුඛත්වය නොදී ආණ්ඩුව රුවල් බෝට්ටු පැදීම සඳහා වඩාත් උනන්දු වන බව මන්ත්‍රී හර්ෂ ද සිල්වා වැඩි දුරටත් කියා සිටියි.
පානදුර සිට බම්බලපිටිය දක්වා දුම්රියෙන් ගමන් ගත් එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරු කණ්ඩායම දුම්රියේ ගමන් ගත් මගින් සමග අදහස් හුවමාරු කර ගත්හ.
දුම්රිය තුළදී කාන්තාවන් හිංසනයට ලක් වන ආකාරය තමා එහිදී නිරීක්ෂණය කල බව එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම පැවසුවේය.
එක්සත් ජාතික පක්ෂයේ එරාන් වික්‍රමරත්න මන්ත්‍රීවරයා අදහස් දක්වමින් කියා සිටියේ මහා මාර්ග පුළුල් කිරීමට ආණ්ඩුව අවධානය යොමු කරන නමුත් මාර්ග තදබදයේ කිසිම අඩුවක් වී නොමැති බවයි.