'තමිල්නාඩු ධීවරයින්ගේ පාරම්පරික අයිතිය වලංගු නැහැ'

ශ්‍රී ලංකාවේ මුහුදු තීරය තුළට ඉන්දීය ධීවරයින් නීති විරෝධී ලෙස පිවිසීම වැළැක්වීමට ආණ්ඩුව පියවර ගත යුතු බව ජාත්‍යන්තර සමුද්‍ර නීති විශේෂඥ ග්‍රීතකුමාර් ඊ. චිත්ති පැවසීය.

ඡායාරූප මූලාශ්‍රය, kadirgamarinstitute.lk

අනවසරයෙන් ශ්‍රී ලංකා මුහුදු තීරයට මෙලෙස ඇතුල් වන ධීවරයින් අත්අඩංගුවට ගෙන ඔවුන්ගෙන් ධීවර බෝට්ටු ඇතුළු ධීවර ආම්පන්න රාජ සන්තක කිරීම රජය විසින් ගත හැකි ප්‍රථම පියවර බවත් ජාත්‍යන්තර සමුද්‍ර නීති සම්මුතියට අනුව මුහුදු සම්පත් ආරක්ෂා කිරීමේ වගකීම ශ්‍රී ලංකා රජයට බැහැර කළ නො හැකි බවත් ඔහු තවදුරටත් පැවසිය.

ජාත්‍යන්තර මට්ටමෙන් හැත්තෑව දශකයේ දී ඇතිවූ ගිවිසුම්වලට අනුව ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර මුහුදු තීරයේ අයිතීන් සුරක්ෂිත වන බව ජාත්‍යන්තර සමුද්‍ර නීති විශේෂඥ ග්‍රීතකුමාර් ඊ. චිත්ති සංදේශයට කියා සිටියේ ය.

ශ්‍රී ලංකා මුහුදු තීරය තුළ මත්ස්‍ය කර්මාන්තයේ යෙදීමට ඉන්දීය ධීවරයන් පවසන පරිදි ඔවුන්ට පාරම්පරික හිමිකම් නොමැති බවත් සමුද්‍ර නීති සම්මුතිය හරහා මේ පිළිබඳ ජාත්‍යන්තර නීතිය නිරාකරණය වී ඇති බවත් ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කළේය.

නීති විරෝධි ලෙස වෙනත් රටක මුහුදු තීරයට පිවිසෙන ධීවරයන්ගේ බෝට්ටු රාජ සන්තක කිරීම ලෝකයේ බොහෝ රටවල පිළිපදින ක්‍රියාමාර්ගයක් ලෙස පෙන්වා දෙන නීතිඥ චිත්ති, ධීවර සමාගම්වලට තමන්ගේ බෝට්ටු මුදා ගැනීමට ජාත්‍යන්තර අධිකරණයට පැමිණිලි කළ නො හැකි බව ද කියා සිටියේ ය.

ධීවර අමාත්‍ය රාජිත සේනාරත්න මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේ ඉන්දු - ලංකා ධීවර නියෝජිතයන් අතර කොළඹ දී පැවති දෙවැනි වටයේ සාකච්ඡා පසුගිය දා අසාර්ථක වීමත් සමග ශ්‍රී ලංකා මුහුදු සම්පතට ඉන්දීය ධීවරයන් ඇති කරන හානියට විරුද්ධව ජාත්‍යන්තර යාන්ත්‍රණයන්හි සහය ලබා ගැනීමට සිදු විය හැකි බවයි.