අලි හොරකම ගැන ඔත්තු දුන්නාට නයෙක් දෂ්ඨ කරවයි

අලි පැටවු හොරකමක් ගැන ඔත්තුවක් දුන් බවට සැක කර නිරුවත් කළ මිනිසෙක් කඹයකින් බැඳ නාගයකු සිටි බැරලයකට දමා නාගයා ලවා දෂ්ට කරවා ඝාතනය කිරීමට තැත් කළ බව කියන පුද්ගලයෙක් පොලිසියට බාරවීමෙන් පසු මේ මස 22දා දක්වා රිමාන්ඩ් භාරයේ තබන ලෙස ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් දිනේෂ් ලක්මාල් පෙරේරා නියම කළේය.
පසුගිය 09දා සවස ඇඹිලිපිටිය සෙවනගල වැවේගමයාය ප්‍රදේශයේ දී මෙම ඝාතන තැත සිදුව තිබුණි.
බැරලයට දැමු තැනැත්තා සිහි මුර්ජා වූ පසු සැකකරුවන් විසින්ම බැමි ලිහා වෙනත් තැනකට ගෙන ගොස් නාගයා ද මරා ඔහු සිටි තැනට නුදුරින් දමා ගොස් තිබුණි.
පුද්ගලයන් දෙදෙනෙකු එක්ව මේ අපරාධය කර තිබු අතර ඔවුන් එදින සිට සැඟව සිට ඇති බවයි පැවසෙන්නේ.

නාගයා දෂ්ට කිරීමෙන් බරපතල ලෙස අසාධ්‍ය වූ සෙවනගල වැවේගමයාය පදිංචි ධම්මික නිශාන්ත නම් දෙදරු පියා ඇඹිලිපිටිය මුලික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ගනිමින් සිටී.
‘’පහුගිය කාලේ ගල්පාය පැත්තේ අලි පැටියෙක් හොරකම් කළ සිද්ධියේ ඔත්තුව දුන්නේ මම කියල සැක කරලා තමයි මාව නයා කාලා මැරිච්ච විදියට පෙන්නන්න මෙහෙම කලේ. මාත් එක්ක කාලයක් මෙයා වැලි ගොඩ දැම්මා. එතකොට කුරුණෑගල පැත්තේ කිහිප දෙනෙක් අලි අල්ලන්න මෙයාව හම්බ වෙන්නත් ආවා. ගමේ අයත් අලි අල්ලන්න එක්කන් ගියා. නමුත් අලියෙක් ඇල්ලුවේ නෑ. මේකට මම නම් ඔත්තුව දුන්නේ නෑ’’ යැයි ඇඹිලිපිටිය මුලික රෝහලේ හයේ වාට්ටුවේ ප්‍රතිකාර ලබන ධම්මික නිශාන්ත පැවසුවේය.
ඝාතන තැතෙන් පසු දින හතරක් තිස්සේ සැඟව සිටි එක් සැකකරුවෙක් සෙවනගල පොලිසියෙන් සොයමින් සිටියදී ඊයේ (13) පොලීසියට බාර වී ඇත.
සැකකරු යුදහමුදාවෙන් පැන ආ තැනැත්තෙක් බවත් පුද්ගලයන් දෙදෙනෙකුට වෙඩි තබා ඝාතනය කිරීමට තැත් කිරීම සම්බන්ධවද සැකපිට පොලිසිය මගහැර සිටින තැනැත්තෙක් බවයි පොලිසිය මහේස්ත්රාත්වරයාට දන්වා සිටියේ.








