එල්ටීටීඊය හිස එසවීම නිර්මාණයක් - ටීඑන්ඒ

ඡායාරූප මූලාශ්‍රය, sundayobserver.lk
- Author, දිනසේන රතුගමගේ
- Role, වවුනියාවේ සිට
ගෝපි ඇතුලු එල්ටීටීඊ නායකයින් තිදෙනකු යුද හමුදාව විසින් ඝාතනය කරන ලද බවට රජයත් යුද හමුදාවත් කරන ප්‍රකාශ පිළිගත නොහැකි බව දෙමළ ජාතික සන්ධානය ප්‍රකාශ කරයි.
ජිනීවා මානව හිමිකම් මණ්ඩලයේ යුද අපරාධ චෝදනා වලින් බේරීම පිණිස සහ තවදුරටත් දෙමළ වැසියන්ට කරදර කිරීමේ අරමුණින් මෙවැනි 'බොරු නිර්මාණය කරන' බවයි, දෙමළ ජාතික සන්ධානයේ උතුරු පලාත් සභා මන්ත්‍රී එම්කේ සිවාජිලිංගම් බීබීසී සංදේශයට කියා සිටියේ.
2009 මැයි මාසයේදී ත්‍රස්තවාදය අවසාන බව ප්‍රකාශ කළ රජය යලිත් එල්ටීටීඊ සංවිධානය හිස ඔසවමින් තිබෙන බව කීම විහිලුවක් බවද ඔහු පවසයි.
'සාක්ෂි තිබෙනවා'

යුද්ධයට පසුව කිසිදු පහසුකමක් හෝ කුසට ආහාරයක් නොමැතිව සිටින දෙමළ වැසියන්ට 'බොරු චෝදනා එල්ල කරමින්' ඔවුන් අත් අඩංගුවට ගැනීමටත් දෙමළ වැසියන් මර්දනය කිරීමටත් හදිසියේම ගෝපි වැන්නවුන් බිහි වන බව පවසන එම්කේ සිවාජිලිංගම් පළාත් සභා මන්ත්‍රීවරයා, ඉදිරියේදීත් රජය 'මෙවැනි නාටක' රඟ දක්වනු ඇතැයිද කියා සිටියේය.
රටේ හදිසි නීතිය පවා නොමැති අවස්ථාවක ගෝපි ඇතුලු සැකකරුවන් තිදෙනකු සොයා දෙදහසකට වැඩි හමුදා භට පිරිසක් විශේෂ මෙහෙයුමක් දියත් කළේ රටේ නීතියට පවා පටහැනිව බව කී සිවාජිලිංගම් මන්ත්‍රිවරයා, මෙතරම් විශාල හමුදා සාමාජිකයන් පිරිසකට නිරායුධව සිටි තිදෙනකු අත් අඩංගුවට ගැනීමට නොහැකි වූ බව පැවසීම 'තවත් විහිළුවක්' බවද සංදේශයට කියා සිටියේය.
වසර ගණනාවක්ම පීඩාවට පත්ව සිටින දෙමළ වැසියන් මෙවැනි 'බොරුවලින්' තවදුරටත් පීඩාවට පත් නොකරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බවද සිවාජිලිංගම් මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
කෙසේ නමුත් දෙමළ ජාතික සන්ධානය එල්ල කරන එම චෝදනාව ප්‍රතික්ෂේප කරන පොලිස් ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ, ගෝපි ඇතුළු පිරිස එල්ටීටීඊය යලි පණ ගැන්වීම පිණිස ක්‍රියාකරමින් සිටි බවට පැහැදිලි සාක්ෂි තිබෙන බව සංදේශය කළ විමසීමකදී කියා සිටියේය.
ඔවුන්ගේ එම වැඩපිළිවෙල පරීක්ෂණ අවසානයේ හෙළි කරන බවද ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා සඳහන් කළේය.








