පරීක්ෂණය සාර්ථක වෙන්නේ නෑ - දයාන්
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලය විසින් ශ්‍රී ලංකාව සම්බන්ධ යෝජනාව බ්‍රහස්පතින්දා සම්මත කරනු ලැබුවත් එය ක්‍රියාවට නැගීම සාර්ථක ක්‍රියාවලියක් නොවන බව දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

ඡායාරූප මූලාශ්‍රය, unspecial.org
යෝජනාවේ ප්‍රකාර පරීක්ෂණය පැවැත්වීම මහ කොමසාරිස්වරියට ඉතා දුෂ්කර වනු ඇති බවයි, දේශපාලන විශ්ලේෂක ආචාර්ය දයාන් ජයතිලක බීබීසී සංදේශයට කියා සිටියේ.
විශේෂයෙන්ම දකුණු ආසියානු කලාපයේ සහයෝගයෙන් තොරව යෝජනාව සම්මත වීම මේ තත්වයට හේතුව බව පවසන එක්සත් ජාතීන්ගේ හිටපු ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත ආචාර්ය දයාන් ජයතිලක, මේ අර්බුදයේදී ශ්‍රී ලංකාවට එරෙහිව ආර්ථික සම්බාධක පැනවීමේ අවදානමක් පවතින බවද කියා සිටියේය.
"යෝජනාව ගෙනාපු උදවියටවත්, ඒකට විරුද්ධ වෙච්ච ලංකාවටවත් සුගතියක් ඇති වෙන්නේ නෑ. එකිනෙකා අමාරුවේ දාන සහ අනෙකා අමාරුවේ වැටෙන තත්වයක් තමයි නිර්මාණය වෙලා තියෙන්නේ," යනුවෙන්ද ඔහු සඳහන් කළේය.
පරීක්ෂණයට සහාය නොදෙන බවට ආණ්ඩුව කරන ප්‍රකාශය පිළිබඳව විමසූ අවස්ථාවේ, කොළඹ විශ්ව විද්‍යාලයේ දේශපාලන විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයා කියා සිටියේ එවැනි හැකියාවක් පැහැදිලිවම ආණ්ඩුවට තිබෙන නමුත් එම ස්ථාවරය වෙනුවෙන් වන්දියක් ගෙවීමටද සිදු වනු ඇති බවයි.