උතුරේ යලි සෝදිසි මෙහෙයුම්

යාපනයේ වඩුක්කෝඩ්ඩෙ‍යි ඇතුලු පලාත් කීපයකම දෙමළ වැසියන් විශාල පිරිසක් අද යුදහමුදාව සහ පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන ඔවුන්ගෙන් ප්‍රශ්න කිරීමෙන් අනතුරුව නිදහස් කොට ඇතත.

ඡායාරූප මූලාශ්‍රය, AFPGetty Images

මේ තත්ත්වය සාමාන්‍යය වැසියන්ගේ එදිනෙදා ජන ජීවිතයට සහ ආරක්ෂාවට විශාල තර්ජනයක් බව පළාතේ දේශපාලනඥයෝ ප්‍රකාශ කරති.

එම පළාතට අද, සෙනසුරාදා ගිය උතුරු පලාත් සභාවේ කෘෂිකර්ම ඇමති එස්.අයින්කරනේෂන් පැවසුවේ තමන් මේ තත්ත්වය ගැන බෙහෙවින් කම්පාවී ඒ ගැන ඉහළ පෙළේ බලධාරීන් කීපදෙනෙකුටම දැනුම් දුන් බවයි.

විරෝධතා

කිසිදු හේතුවක් නොමැතිව සාමාන්‍ය‍ය වැසියන් මේ අන්දමට පීඩාවට ලක් කිරීම දෙමළ ජාතික සන්ධානය කිසිසේත් අනුමත නොකරන බව පවසන ඇමතිවරයා මේ සම්බන්ධයෙන් විරෝධතාවයන් දැක්වීමට ක්‍රියා කරන වගද පැවසුවේය.

මේ පිළිබඳව යුද හමුදා මාධ්‍ය‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රුවන් වනිගසූරියගෙන් විමසූවිට ඔහු කියා සිටියේ 2009 මැ‍යි මාසයෙන් පසුව යාපනයෙන් කිසිදු සිදුවීමක් වාර්තා නොවුන ද පසුගිය දහතුන් වෙනිදා එක් නිවසක් පරීක්ෂා කොට එල්.ටී.ටී.ඊ.සැකකරුවෙකු වන ගෝබි නැමැත්තකු අත් අඩංගුවට ගැනීමට ගිය අවස්ථාවේදී ඔහු පොලීසියට වෙඩි තබා පලා ගිය හෙයින් ඔහු සෙවීම පිණිස හමුදාව සහ පොලීසිය ඒකාබද්ධව මේ දිනවල පළාත් කීපයක සෝදිසි මෙහෙයුම් දියත් කොට ඇති බවයි.

ගෝබි නැමැත්තා සෙවීම

අද යාපනයේ වඩුක්කෝඩ්ඩෙයි පළාතේද මෙහෙයුමක් දියත් කලේ ගෝබි නැමැත්තා සෙවීමට බව යුද හමුදා ප්‍රකාශකයා කියා සිටියේය.

ඒ අවස්ථාවේදී පුද්ගලයන් කීප දෙනෙකු ම අත් අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී ඔවුන් අතර ගෝබි නොසිටි බැවින් පැයකට පමණ පසුව සියලු වැසියන් නිදහස් කළ බවයි ඔහු පැවසුවේ.

උතුරේ කාන්තාවන් මීට කලින් තම ප්‍රශ්න ඇමති එස්.අයින්කරනේෂන් වෙත දන්වා සිටි අවස්තාවක්
ඡායාරූප ශීර්ෂ වැකිය, උතුරේ කාන්තාවන් මීට කලින් තම ප්‍රශ්න ඇමති එස්.අයින්කරනේෂන් වෙත දන්වා සිටි අවස්තාවක්

නමුත් උතුරේ අනෙක් පළාත්වල වැසියන් ප්‍රකාශ කරන්නේ යුද හමුදව සහ පොලීසිය තමන්ගේ නිවෙස් දිවා රාත්‍රී දෙකෙහිම පරීක්ෂා කරමින් මහමග යන වැසියන්ද පරීක්ෂා කිරීම නිසා තමන් දැඩි ලෙස බියට පත්ව සිටින බවයි.

එලෙස අත් අඩංගුවට පත් වී පසුව නිදහස ලැබූ ගම වැසියෙක් බීබීසි යට කියා සිටියේ මෙසේ පරීක්ෂා කිරීමට පැමිණියේ කිනම් හේතුවක් නිසා දැයි නොදන්නා බැවින් තමන් බියට පත්වී සිටින බවයි.

“උදෙත් ආවා, රෑ වෙලත් ආවා. එත් ඇයි ආවේ කියල දැනුම් දුන්නෙ නැති නිසා තමයි මිනිස්සු බය වෙලා ඉන්නෙ” යනුවෙන් ඔහු පැවසුවේය.

ජාතික ආරක්ෂාව

සිවිල් පරිපාලනයක් ක්‍රියාත්මක වන පළාත්වල පොලිසිය විසින් සිදු කළ යුතු මෙහෙයුම් සඳහා යුද හමුදාව එක වී සිටින්නේ මන්දැයි විමසූ විට බ්‍රිගේඩියර්වරයා කියා සිටියේ ජාතික ආරක්ෂාව පිළිබඳ කටයුතු වලදී පොලිසියට තනිව මැදිහත් වී කටයුතු කිරීම අපහසු බවත් එසේ කිරීමට ගිය හොත් වසර තිහකට පෙර විඳි දුක නැවත විඳීමට යාපනයේ පමණක් නොව රටේ සමස්ථ ජනතාවට සිදුවන බවයි.