පොලිසියට 'දිවි නසා ගන්න පිස්තෝල දීලා'
ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ 2013 වාර්ෂික වාර්තාව අනුව සිවු දෙනකුගෙන් යුත් නාගරික පවුලකට මසකට ජීවත්වීම සදහා රුපියල් 59,000 ක් අවශ්‍ය බව විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කරයි.
විපක්ෂ නායකවරයා ඒ බව කියා සිටියේ, "බල පෙරළියට කොළ එළියක්" යන තේමාව යටතේ බස්නාහිර සහ දකුණු පළාත් සභා මැතිවරණය වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂයේ (එජාප) මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්වීමේ අවස්ථාවට එක්වෙමින්.

"රජයේ සේවකයන් කීදෙනෙකුට රු 59,000ක් හම්බවෙනවද? බොහෝ අයට ඒකෙන් බාගයක් හෝ තුනෙන් දෙකක් හම්බවෙන්නේ. අද රජයේ සේවකයන් අතරමං කරලා තියෙනවා. රාජපක්ෂ රෙජීමය කියන්නේ රාජ්‍ය සේවකයන් වැඩ කරන්නේ නැහැ කියලා," යනුවෙන්ද ඔහු පැවසීය.
සම්පූර්ණයෙන්ම කඩා වැටී තිබෙන රාජ්‍ය සේවය එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවකින් යලි නගා සිටුවන බවද රනිල් වික්‍රමසිංහ පැවසීය.
"පඩි වැඩි කරන්නේ නැහැ. කී වතාවක් පඩි වැඩිකළාද? දීමනා වැඩිකරනවා, පඩි වැඩිකරන්නේ නැහැ. ඒ නිසා විශ්‍රාම යනකොට විශ්‍රාම වැටුප අඩුයි."
'දිවි නසා ගන්න පිස්තෝල දීලා'
රැකියා බැංකු පිහිටුවා බස්නාහිර සහ දකුණු පළාතෙන් විරැකියාව තුරන් කිරීම, දිනෙන් දින කඩා වැටෙන ව්‍යාපාර නගා සිටුවීමට වැඩ පිළිවෙලක්, අධ්‍යාපනය සදහා දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට හයක් වෙන් කළ යුතු බව පිළිගෙන එම ප්‍රත්පත්තිය මත පළාත් සභාවේ ක්‍රියාකිරීම, පළාත් රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩිකිරීම වැනි යෝජනා එජාපයේ ප්‍රතිපත්ති ප්‍රකාශයට ඇතුලත්.

පොලිස් හා හමුදා නිලධාරීන් මුහුණ දෙන ගැටළු පිළිබඳවද විපක්ෂ නායකවරයා අදහස් දැක්වීය.
"පොලිසියේ අයට අද පිස්තෝල දීල තියෙන්නේ ජීවන වියදම වැඩිවෙලා දරාගන්න බැරිවුනොත් පිස්තොලේ අරගෙන සිය දිවි නසාගන්න. හමුදාව අද තණ කොළ කපන්න, කම්කරු වැඩට යොදවලා."
ධීවර, පරිසර, සහ සෞඛ්‍යය අංශවලට අදාළ යෝජනා මෙන්ම අල්ලස, දූෂණය සහ නාස්තිය තුරන්කිරීම හා පළාත් සභාවල තොරතුරු දැනගැනීමේ අයිතිය තහවුරු කිරීමේ යෝජනාද මෙම ප්‍රකාශනයේ අඩංගු බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී එරාන් වික්‍රමරත්න මාධ්‍යවේදීන් අමතමින් කියා සිටියේය.
"රට තුල රැකියාවල් ඇතිකරන්න රජයට බැරිවෙලා තිබෙනවා. අපි දකුණු හා බස්නාහිර පළාත් සභාවෙන් ඒකක කරන්නේ කොහොමද කියලා පෙන්නන්න යනවා," යනුවෙන්ද ඔහු පැවසීය.
තැපැල් ඡන්දදායකයෝ
පළාත් සභාවලට අවශ්‍ය උපදෙස් හා මඟ පෙන්වීම් ලබාගැනීම පිණිස විවිධ ක්ෂේත්‍රවල ප්‍රවීණයන්ගෙන් සැදුම්ලත් බුද්ධි මණ්ඩල පිහිටුවන බවත් වික්‍රමරත්න මන්ත්‍රීවරයා පැවසීය.

ඡායාරූප මූලාශ්‍රය, petroleummin.gov.lk
මේ අතර 2005 වසරේ ජනාධිපතිවරයා බලයට පැමිණෙද්දී ලක්ෂ හයක්ව සිටි රාජ්‍ය සේවකයන්ගේ සංඛ්‍යාව අද වනවිට ලක්ෂ 14 දක්වා වැඩි කර ශක්තිමත් රාජ්‍ය සේවාවක් පවත්වාගෙන යන බවයි, එක්සත් ජනතා නිදහස් සන්ධානය පවසන්නේ.
කොළඹ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා, සිය පාලන කාලය තුල ශ්‍රී ලංකාවේ රාජ්‍ය සේවය තුනෙන් එකකින් අඩුකිරීමට සැලසුම් සකස්කළ බවට එජාපයට චෝදනා කළේය.
"ඒගොල්ලන්ගේ අයවැය ලේඛනයෙන් ඒගොල්ලෝ කිව්වා රාජ්‍ය සේවයෙන් තුනෙන් එකක් ඇකිලිය යුතුයි කියලා," යනුවෙන්ද අමාත්‍යවරයා සඳහන් කළේය.
රාජ්‍ය සේවාව ශක්තිමත් කිරීම වෙනුවෙන් ආණ්ඩුව අතිවිශාල වැඩකොටසක් ඉටුකර ඇති බවයි, අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා පවසන්නේ.
තැපැල් ඡන්ද සලකුණු කිරීම බ්‍රහස්පතින්දා සහ සිකුරාදා පැවැත්වෙන අතර, දෙපාර්ශවයම එක් ලක්ෂ විසි හය දහස් හත්සිය අනූ හතරක් (1,26,794) වන තැපැල් ඡන්දදායකයන් වෙත ආමන්ත්‍රණය කළ හැඩකුයි දක්නට ලැබුනේ.