ජිනීවා යෝජනාව 'පහසුවෙන් සම්මත වේවි'

ජිනීවා නුවරදී සඳුදා ආරම්භ වූ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ විසි පස් වැනි සැසිවාරයේදී ශ්‍රී ලංකාව සම්බන්ධ යෝජනාවට පක්ෂව වැඩි ඡන්ද ලැබෙනු ඇති හැඩක් පෙනී යන බව දේශපාලන විශ්ලේෂකයෝ පවසති.

ඇමෙරිකා එක්සත් ජනපදයේ ප්‍රධානත්වයෙන් ඉදිරිපත් කිරීමට නියමිත යෝජනාවට පක්ෂව ඡන්ද විස්සක් හෝ වැඩි ගණනක් ලැබෙනු ඇති බවකුත්, එයට විරුද්ධව ඡන්ද පහළොවක් පමණ ලැබෙනු ඇති බවකුත් දැනට පෙනී යන බවයි, ජිනීවා නුවර සිටින මාධ්‍යවේදී සුනන්ද දේශප්‍රිය බීබීසී සංදේශයට කියා සිටියේ.

ශ්‍රී ලංකාව සම්බන්ධ යෝජනා දෙකක්ම මානව හිමිකම් මණ්ඩලයේ සම්මත විය
ඡායාරූප ශීර්ෂ වැකිය, ශ්‍රී ලංකාව සම්බන්ධ යෝජනා දෙකක්ම මානව හිමිකම් මණ්ඩලයේ සම්මත විය

යෝජනාවේ අවසාන කෙටුම්පත තවමත් ප්‍රකාශයට පත් වී නැතත්, ශ්‍රී ලංකාවේ සිදු වූ බව පැවසෙන යුද අපරාධ සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් අවශ්‍ය බව සෘජුවම හෝ වක්‍රව එහි සඳහන් වනු ඇති බව ඔහුගේ නිගමණයයි.

සැසිවාරයේ සමාරම්භක දේශණය පැවැත් වූ මහ කොමසාරිස් නවී පිල්ලේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් විශේෂ සඳහනක් නොකළේ බොහෝ විට ඇය ලබන විසි හය වැනි දින ශ්‍රී ලංකාව සම්බන්ධ වාර්තාව සමුළුවට ඉදිරිපත් කිරීමට නියමිත නිසා විය හැකි බවද ඔහු කියා සිටියේය.

මහ කොමසාරිස්වරිය රටවලට අදාල වාර්තා ඉදිරිපත් කළ විට එම වාර්තා සියල්ල එක්වරම සාකච්ඡාවට ලක් කිරීම සාමාන්‍ය සම්ප්‍රදායය වුවත්, ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම පිණිස විශේෂයෙන් කාලය වෙන් කොට තිබීම මෙවර සැසිවාරයේ විශේෂත්වයක් බවද සුනන්ද දේශප්‍රිය සංදේශය කළ විමසීමකදී කියා සිටියේය.

දැනට ජිනීවා නුවර සිටින විදේශ අමාත්‍ය ජීඑල් පීරිස් අඟහරුවාදා නවනීදන් පිල්ලේ මහ කොමසාරිස්වරිය හමුවීමට නියමිත අතර, ඉන් අනතුරුව ඔහු බදාදා මානව හිමිකම් මණ්ඩල සැසිවාරය ඇමතීමට නියමිතව තිබේ.