යුද හමුදා බුද්ධි අංශයට වද හිංසා චෝදනා

ඕස්ට්‍රේලියා වාසී දෙමළ තිදරු පියකුට ශ්‍රී ලංකා රජයේ හමුදාවේ යැයි සැක කැරෙන සන්නද්ධ කණ්ඩායමක් ලංකාවේදී වද හිංසා පැමිණවීමේ සාක්ෂි හෙළි කිරීමෙන් පසු තමන් තර්ජනයට ලක්වී සිටින බව පවුලේ සාමාජිකයෝ පවසති.
ශ්‍රී ලංකා රජයේ හමුදාවේ ඔත්තු සේවා භටයන් විසින් තමන් දරුණු වධ බන්ධනයටත් ලිංගික හිංසනයටත් පත් කරන ලද බවයි 'කුමාර්' යන අන්වර්ථ නාමයෙන් හැඳින්වුණු තරුණයකු ඕස්ට්‍රේලියාවේ ABC රූපවාහිනියට පවසා තිබුනේ.
<documentLink href="http://www.abc.net.au/news/2013-04-24/sri-lankan-details-claims-of-rape-and-torture-by-army/4649954" document-type="video"> ABC රූපවාහිනියේ රූප රාමු වලින්</documentLink> තරුණයාගේ නිරාවරණය කැරුණු පිට පුරා දිගු තුවාල දකින්නට තිබේ.
ගිනියම් යකඩ පොලු
ඔහු පරීක්ෂා කළ ඕස්ට්‍රේලියානු වෛද්‍යවරියක සහතික කොට තිබෙන්නේ ඒවා ගිනියම් යකඩ පොලු වලින් සිදු කැරුණු පිළිස්සුම් තුවාල බව.
දැඩි කම්පනයට පත්ව සිටින තරුණයාට වහාම මානසික වෛද්‍ය ප්‍රතිකාර ලබා දීම අත්‍යවශ්‍ය බවයි ඇයගේ නිර්දේශය වී ඇත්තේ.
ශ්‍රී ලංකාවට ගොස් සිටි සති තුනකට ඉහතදී හිසට පිස්තෝලයක් එල්ල කොට පැහැරගෙන යනු ලැබ, රහසේ අත් අඩංගුවේ තබා තමනට වද හිංසා පැමිණවූ පුද්ගලයන්, ඔවුන් රජයේ යුද හමුදා නිලධාරීන් ලෙස හඳුන්වා ගත් බවයි කුමාර් යනුවෙන් ABC රූපවාහිනිය විසින් හඳුන්වන ලද තරුණයා කියා තිබුනේ.
කොටි සමග සබඳතා
කොටි සංවිධානය සමග ඇතැයි සැක කැරෙන සබඳතා පිළිබඳව හිංසකයන් විසින් ඔහුගෙන් විමසන ලද බව තරුණයා පවසයි.

දමිළ තරුණයා රැකබලා ගන්නා ඥාති සහෝදරයකු දුරකතනයෙන් බීබීසී සංදේශය හා කියා සිටියේ වද හිංසා පිලිබඳ තොරතුරු හෙළි වීමත් සමගින් ඔහුගේ ඥාතීන් දැඩි පීඩාවට ලක්ව සිටින බවයි.
තම ඥාති සහෝදරයා සහ පවුලේ සාමාජිකයන්ගේ අනන්‍යතාව හෙළී වී අනතුරට පත් වීමෙන් ආරක්ෂා කරගත යුතු බව ඔහු සංදේශය හා කියා සිටියේය.
ඩොලර් විසි දහසක්
යුද හමුදා නිලධාරීන් ලෙස හඳුන්වා ගත් සන්නද්ධ පිරිමින් ගෙන් මිදී යාමට සිව් දිනකට පසු මග සැලසුනේ ඕස්ට්‍රේලියානු ඩොලර් විසි දහසක අල්ලසක් තම වධකයන් හට දීමෙන් අනතුරුව බවයි කුමාර් නමින් හැඳින්වුණු තරුණයා ඕස්ට්‍රේලියානු රූපවාහිනියට කියා තිබුනේ.
ඒ ගැන තමන් මදක් හෝ පුදුම නොවන බව ආසියානු මානව හිමිකම් කොමිසමේ විධායක අධ්‍යක්ෂ වරයා පැවසුවේය.
"මුදල් ගැනීම සඳහා වධ හිංසා කිරීම ශ්‍රී ලංකාවේ විශේෂ තත්වයක්," බවයි ආසියානු මානව හිමිකම් කොමිසමේ අධිනීතිඥ බැසිල් ප්‍රනාන්දු සංදේශයට කියා සිටියේ.
තමන් ABC රූපවාහිනී වාර්තාව දුටු බව සංදේශයට තහවුරු කොට සිටි ශ්‍රී ලංකා රජයේ හමුදා ප්‍රකාශකයා එයින් රජයේ හමුදාවට එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කළේය.
මේ වන විට ඔස්ට්‍රේලියාව දහසකට ආසන්න ශ්‍රී ලාංකිකයන් පිරිසක් ඕස්ට්‍රේලියාවෙන් ශ්‍රී ලංකාවට එවා ඇති බව ප්‍රකාශ කළ බ්‍රිගේඩියර් රුවන් වනිගසුරිය කියා සිටියේ ඒ හැම දෙන නිදහසේ සිටින බවයි.

"ආර්ථික අවශ්‍යතා නිසා ඔස්ට්‍රේලියාවට යන ශ්‍රී ලාංකිකයන් යළි ශ්‍රී ලංකාවට එවීමට ගෙන ඇති තීරණය වෙනස් කරලීමේ උත්සාහයේ එක් පියවරක්," ලෙසයි හමුදා ප්‍රකාශකයා රූපවාහිනී වාර්තාව හැඳින්වූයේ.
අනන්‍යතාව අවශ්‍යයි
අනන්‍යතාව හෙළි නොකර මාධ්‍ය මගින් තොරතුරු ප්‍රචාරය කළ පමණින් පරීක්ෂණ පැවැත්විය නොහැකි බවයි යුද හමුදා ප්‍රකාශකයා කියා සිටියි.
චෝදනා පිලිබඳ තවත් තොරතුරු වධ හිංසාවට පත්වූ අය විසින් ලබා දිය යුතු බවයි බ්‍රිගේඩියර් රුවන් වනිගසුරිය ගේ ඉල්ලීම.
සාක්ෂි කරුවන් ආරක්ෂා කිරීම සඳහා කිසිදු සහතිකයක් දී නොමැති කලෙක පීඩාවට පත් වූවන්ගෙන් තොරතුරු ඉල්ලා සිටීමේ අයිතියක් ශ්‍රී ලංකාවේ රජයට නොමැති බවයි ආසියානු මානව හිමිකම් කොමිසමේ බැසිල් ප්‍රනාන්දු කියා සිටින්නේ.
ඔස්ට්‍රේලියාවට රැකවරණ පතා පැමිණෙන්නන් ආපසු ශ්‍රී ලංකාවට යැවීමේ ප්‍රතිපත්තිය නැවත සලකා බැලිය යුතු බව ආසියානු මානව හිමිකම් කොමිසමේ විධායක අධ්‍යක්ෂ වරයා වැඩි දුරටත් කියා සිටියේය.
එහිදී ශ්‍රී ලංකාවට යවනු ලබන පුද්ගලයන්ට වද හිංසා පැමිණවීම පිලිබඳව සාක්ෂි විද්‍යාත්මකව විභාග කොට බැලීමේ වගකීමක් ඕස්ට්‍රේලියානු රජය වෙත පැවරෙන බවයි ඔහු අවධාරණය කරන්නේ.








