
"අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය සැමට පොදු වන අතර, එම අයිතිය ශ්‍රී ලංකාවේ නීතිය මඟින්ද සුරක්ෂිත කර ඇති," බව, කොළඹ පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලය පවසයි
ශ්‍රී ලංකාවේ සිවිල් සමාජ ක්‍රියාධරයන්ට එරෙහිව එල්ලවෙමින් තිබෙන තර්ජන හා පහරදීම් තමන්ගේ කණස්සල්ලට හේතු වී ඇති බව ඇමෙරිකා එක්සත් ජනපදය පවසයි.
"අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය සැමට පොදු වන අතර, එම අයිතිය ශ්‍රී ලංකාවේ නීතිය මඟින්ද සුරක්ෂිත කර ඇති," බවයි, කොළඹ පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලය විසින් නිකුත් කරනු ලබා ඇති නිවේදනයක සඳහන් වෙන්නේ.
එක්සත් ජනපදය එසේ අවධානය පළ කරන්නේ තම සංවිධානයේ ජ්‍යෙෂ්ට සාමාජිකයකුට මඩ ගැසීමේ ව්‍යාපාරයක් දියත් කොට තිබෙන බවට විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය නිවේදනයක් නිකුත් කිරීමෙන් අනතුරුවයි.
අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක සම්බන්ධ දෝෂාභියෝග ක්‍රියාවලියට එරෙහිව විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය ප්‍රසිද්ධියේ අදහස් පළ කළ අතර, නව අගවිනිසුරු මොහාන් පීරිස්ගේ පත්වීම අභියෝගයට ලක් කරමින් එහි විධායක අධ්‍යක්ෂ පාක්‍යසෝති සරවනමුත්තු අධිකරණයේ ඉදිරියේ නඩුවක් ද පවරා තිබේ.
මේ අතර දෝෂාභියෝගයට විරුද්ධව හඬ නැඟූ රොමේෂ් ද සිල්වා, ජයම්පති වික්‍රමරත්න, ජේ සී වැලිඅමුණ සහ පාර්ලිමේන්තු මන්ත්‍රී එම් ඒ සුමන්තිරන් නීතිවේදීන්ට මරණ තර්ජන එල්ල කරමින් ලිපි එවා තිබේ.
ශ්‍රී ලංකාවේ නීතිය රකින්නන්, සිවිල් සංවිධාන සහ රටේ සිදුවීම් පිළිබඳව ප්‍රසිද්ධියේ අදහස් පළ කළ අනෙක් සියලු දෙනාගේ භාෂණයේ නිදහස සහතික කරන මෙන් තානාපති කාර්යාලය ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලීමක් කරයි.












