
ඉදිරියේදී ලාංකීය කතුන් මෙවැනි ඉරණමකට ගොදුරු වීම වැළැක්වීම සඳහා උද්ඝෝෂණයක් දියත් කරන බව නෝනා පදනම පවසයි
සිය දියණිය මරා දැමීමෙන් අනතුරුව දැන් තමන්ට ලැබෙන උපකාර මීට කලින් ලැබුනේ නම් අදත් සිය දියණිය ජීවතුන් අතර සිටින බව සවුදි අරාබියේදී හිස ගසා මරා දැමුණු රිසානා නෆීක් ගේ මව පවසන්නීය.
රිසානා නෆීක් ඇතුළු දහස් සංඛ්‍යාත ලාංකීය කාන්තාවන් රැකියා පතා තවමත් මැද පෙරදිගට ඇදෙන්නේ ආර්ථික දුෂ්කරතා නිසා බව පෙන්වා දෙන සෙයියදු අහම්මදු රෙසීනා, මරණයට ලක්වීමේ අවදානමින් යුතුව ලංකාවේ දුගී කතුන් ඉදිරියේදී සෞදි යාම වැළැක්වීමේ එකම මාර්ගය එම කාන්තාවන්ට ජීවත්වීමට සරිලන වැටුපක් සහිත රැකියා සොයා දීම බව ද පවසන්නීය.
එම වගකීම ඇත්තේ ජනාධිපති වරයා අත බව ද ඇය ආර් ජී ධර්මදාසට කියා සිටියාය.
සිය දෙටු දියණිය සෞදිය බලා ගියේ පාසල් වියේ සිටින නංගිලා දෙදෙනාගේ වියදම් දැරීම සඳහා බව සංදේශයට පැවසූ රිසානා මාතාව, රිසානා ගේ හිස ගසා මරා දැමූ සෞදි රජයෙන් ලැබුණු රුපියල් දශ ලක්ෂයක මුදල ප්‍රතික්ෂේප කරන්නීය.
නෝනා පදනම
රිසානා නෆීක් ගේ මව එම අදහස් පළ කළේ සෞදි රාජාණ්ඩුව විසින් ඝාතනය කොට ගතවූ දස දින ඇතුලත ඇයගේ පවුලේ සාමාජිකයන්ට උදව් උපකාර දීමට විවිධ පිරිස් මුත්තුර් හි සාෆි නගර් කරා ඇදී එමින් සිටීම පිළිබඳව බීබීසී සංදේශයට අදහස් දක්වමින්.
තමන් භාරයේ සිටි බිළිඳෙකු මරා දැමීමේ චෝදනාවට වැරදිකරු කෙරුණු බාල වයස්කාර රිසානා හට මරණීය දණ්ඩනය නියම කරන බව ප්‍රකාශයට පත් වුනේ 2007දී.
එම තීන්දුවට එරෙහිව රිසානා ඉදිරිපත් කළ අභියාචනය වෙනුවෙන් මූල්‍ය වියදම් දැරුවේ ආසියානු මානව හිමිකම් කොමිසම විසින්.
ඒ සඳහා මූල්‍ය ආධාර සැපයූ නෙදර්ලන්තයේ නෝනා පදනමේ නිමල් සමන්ත එම නිවසේදී බීබීසී සංදේශයට කියා සිටියේ ඉදිරියේදී ලාංකීය කතුන් මෙවැනි ඉරණමකට ගොදුරු වීම වැළැක්වීම සඳහා සිය පදනම ජාත්‍යන්තර සංවිධාන සමඟ උද්ඝෝෂණයක් දියත් කරන බවයි.
සෞදි අධිකරණය එම අභියාචනා ප්‍රතික්ෂේප කළ අතර, ජාත්‍යන්තර විරෝධය ද නොතකා ඇගේ හිස ගසා මරා දැමීම ජාත්‍යන්තර හෙලා දැකීමට ලක්විය.












