
රිසානා නෆීක් ගේ හිස ගසා මරා දැමීමෙන් අනතුරුව දහස් ගණන් ජනතාව එම නිවසට ආදී එමින් සිටින බවද ආර්ජී ධර්මදාස පවසයි
සිය දියණිය මරා දැමීමට මොහොතකට පෙර හෝ අවසාන වතාවටවත් ඇගේ මුහුණ බැලීමට තමන්ට අවස්ථාවක් නොදුන්නේ මන්දැයි රිසානා නෆීක්ගේ මව සංවේගයෙන් යුතුව සවුදි අරාබියේ සහ ශ්‍රී ලංකා බලධාරීන් ගෙන් විමසන්නීය.
"මොන හිතකින් මොන වරදකට මගේ ලොකු දුව මරල දැම්මද, අන්තිම මොහොතේවත් එයාගේ මුහුණ බලන්න මට අවස්ථාවක් නොදුන්නේ ඇයි දෙවියනේ," සෙයියදු අහම්මදු රෙසීනා වේදනා බරිතව ප්‍රශ්ණ කරන්නීය.
සිය දියණිය මරුමුවට පත්වීමෙන් අනතුරුව පළමුවරට නිවසින් පිටතට පැමිණි මාතාව සිය වේදනාව පිටකළේ මාධ්‍යවේදී ආර්ජී ධර්මදාස බීබීසී සංදේශය වෙනුවෙන් මුත්තූර්හි පිහිටි ඔවුන්ගේ නිවසට ගිය අවස්ථාවේ.
මළ සිරුර
තමා භාරයේ සිටි අත දරුවෙකු මරා දැමීමේ චෝදනාවට වැරදිකරුව, වසර අටකට ආසන්න කාලයක් අත් අඩංගුවේ පසුවූ රිසානා පසුගිය අඟහරුවාදා සවුදි අරාබියේදී හිස ගසා මරා දැමිණ.
"පණපිටින් එවන්න බැරි වුනානම් මගේ දරුවාගේ මළ සිරුර වත් ගෙනත් නොදුන්නේ ඇයි?"
රිසානාගේ මව, සෙයියදු අහම්මදු රෙසීනා
"පණපිටින් එවන්න බැරි වුනානම් මගේ දරුවාගේ මළ සිරුර වත් ගෙනත් නොදුන්නේ ඇයි?," යනුවෙන්ද සෙයියදු අහම්මදු රෙසීනා මාතාව ආණ්ඩුවෙන් විමසන්නීය.
රිසානාගේ සහෝදර සහෝදරියන්ට පාසල් යාමට අවශ්‍ය පහසුකම් සලසා දීමට හෝ දැන්වත් බලධාරීන් කටයුතු කළ යුතු බව, රිසානාගේ මාමා ජායම් එම් ලරීෆ් සංදේශයට කියා සිටියේය.
රිසානා නෆීක් ගේ හිස ගසා මරා දැමීමෙන් අනතුරුව දහස් ගණන් ජනතාව එම නිවසට ආදී එමින් සිටින බවද ආර්ජී ධර්මදාස පවසයි.
ශ්‍රී ලංකා ආණ්ඩුව මෙන්ම බොහෝ ජාත්‍යන්තර සංවිධානද රිසානාගේ ඝාතනය දැඩිව හෙලා දුටුවහ.
කෙසේ නමුත් ඇගේ ජීවිතය බේරා ගැනීම සඳහා නිසි පියවර ගැනීමට අපොහොසත්වූ ජනාධිපති මහින්ද රාජපක්ෂ එහි සම්පූර්ණ වගකීම භාර ගත යුතු බවයි, මරණ දඬුවමට එරෙහි අභියාචනය සඳහා වියදම් දැරූ ආසියානු මානව හිමිකම් කොමිසම පවසන්නේ.
අධිකරණ අමාත්‍ය රවුෆ් හකීම් එම චෝදනාව ප්‍රතික්ෂේප කරයි.












