
එල්ටීටීඊ සැකකරුවන් 400 දෙනකු උතුරු නැගෙනහිර ඇතුළු ශ්‍රී ලංකාවේ විවිධ පළාත්වල වෙසෙන බව ආරක්ෂක අංශ වාර්තාවක් පවසයි
ආරක්ෂක අංශවලට භාර නොවූ සහ අත් අඩංගුවට පත් නොවූ එල්ටීටීඊ සැකකරුවන් 1200 දෙනකු තවමත් සැඟවී සිටින බව ආරක්ෂක අංශ බලධාරීහු පවසති.
උතුරේ ආරක්ෂක අංශ නිලධාරීන් විසින් පසුගිය සතියේ නිකුත් කරන ලද වාර්තාවකයි, ඒ බව සඳහන් වෙන්නේ.
ඔවුන්ගෙන් 400 දෙනකු උතුරු නැගෙනහිර ඇතුළු ශ්‍රී ලංකාවේ විවිධ පළාත්වල වෙසෙන බව පවසන එම වාර්තාව අනෙක් පිරිස විදේශගතව සිටින බව ද එම වාර්තාවේ සඳහන්.
දැනට සැඟවී සිටින මෙම එල්ටීටීඊ සැකකරුවන් පිරිස වහාම අත් අඩංගුවට ගැනීම සඳහා ක්‍රියා කිරීමේ අවශ්‍යතාවය එම වාර්තාව මඟින් අවධාරණය කොට තිබේ.
යාපනවාසීන් බූස්ස කඳවුරට
මේ අතර, එල්ටීටීඊ සැකරුවන් බව පවසමින් කිලිනොච්චිය සහ යාපනයෙන් අත් අඩංගුවට ගන්නා ලද 44 දෙනකු දකුණු පළාතේ බූස්ස රැඳවුම් කඳවුරට මාරු කොට යවා ඇති බව මානව හිමිකම් කොමිසම පවසයි.
මේ පිරිස නිදහස් කර ගැනීම සඳහා මැදිහත් වන මෙන් ඔවුන්ගේ ඥාතීන් තමන්ගෙන් ඉල්ලා සිටි බවයි, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ යාපන දිස්ත්‍රික් නිලධාරී තංගවේල් කනකරාජ් බීබීසී සංදේශයට කියා සිටියේ.
කෙසේ නමුත් යාපනයේදී අත් අඩංගුවට ගන්නා ලද එම 44 දෙනා තමන් භාරයේ නැති බවයි, පුනරුත්ථාපන කොමසාරිස් බ්‍රිගේඩියර් දර්ශණ හෙට්ටිආරච්චි පවසන්නේ.
මෙම පිරිස සම්බන්ධ පරීක්ෂණ පොලිස් ත්‍රස්ත විමර්ෂණ කාර්යාංශය යටතේ පවතින බව ද ඔහු පැවසීය.












