
අගවිනිසුරු ආචාර්ය ශිරානි බණ්ඩාරනායකට එරෙහිව ඇති දෝෂාභියෝග යෝජනාව පිළිබඳව යලි සළකා බලන ලෙස කථානායකවරයාගෙන් සහ ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටීමට ඒකමතික තීන්දුවක් ගත් බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය ප්‍රකාශ කරයි.
වසර විසි හතකට පසුව නීතිඥයන් සිය ගණනකට වැඩි පිරියක් සහභාගිවූ අද පැවැති විශේෂ මහා සභා රැස්වීමේදී දැඩි වාද විවාද මධ්‍යයේ එම තීන්දුවට එළඹී බවයි ශ්‍රී ලංකා නීතඥ සංගමයේ සභාපති විජේදාස රාජපක්ෂ පැවසුවේ.
යලි සළකා බැලීමකින් තොරව දෝෂාභියෝගය රජය විසින් ඉදිරියට ගෙන යන්නේ නම් වත්මන් අගවිනිසුරුවරියට ඊට සාධාරණ පරීක්ෂණයක් ලබා ගැනීමට හැකිවන පරිදි යෝජනා අටකින් සමන්විත යාන්ත්‍රණයක් සම්මත කරගත් බවද සභාපති විජේදාස රාජපක්ෂ ප්‍රකාශ කළේය.
තේරීම් කාරක සභාව හමුවේ පරීක්ෂණය පැවැත්වෙන ක්‍රමවේදය පිළිබඳව කථානායකවරයා හමුවී සාකච්ජා කිරීමටද ශ්‍රී ලංකා නීතඥ සංගමය තීරණය කළ බවයි ඔහු සඳහන් කළේ.
විමර්ශන කටයුතු සිදුකෙරෙන අවස්ථාවේදී එය අධීක්ෂණය කිරීම පිණිස හිටපු අග්‍රවිනිශ්චයකාරවරුන් හෝ ශ්‍රේෂ්ඨාධිකරණයේ විශ්‍රාමික විනිශ්චයකාරවරුන් වැනි එම ක්ෂේත්‍රයේ විද්වතුන් සහභාගී කරවා ගැනීමේ අවස්ථාවක් ලබා දෙන ලෙසට ඉල්ලා සිටීමට බලාපොරොත්තුවන බවත් සභාපති විජේදාස රාජපක්ෂ පැවසුවේය.
විශේෂයෙන්ම නීතිඥ සංගමය අවධාරණය කිරීමට තීරණය කළේ , දෝශාභියෝග කමිටුව අනුගමන කරන ක්‍රියා පිළිවෙත මගින් අගවිනිසුරුවරියට අසාධාරණයක් නොවන ආකාරයකට පාරදෘශ්‍යභාවයකින් සහ වගකීමෙන් යුතුව එම ක්‍රියාදාමය සිදුවන බව තහවුරු කර ගැනීම බවත් ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති විජේදාස රාජපක්ෂ ප්‍රකාශ කළේය.












