
නාවුරු කඳවුරේ රඳවා සිටින වැඩි පිරිස ලාංකිකයන්
ඕස්ට්‍රේලියාවේ නව ආගමන නීති රීති වලට විරෝධය පාමින් රැඳවුම් කඳවුරක උද්ඝෝෂණයක් දියත් කළ සංක්රමණිකයෝ තම දේශපාලන රැකවරණ ඉල්ලුම්පත් සම්බන්ධයෙන් ඉක්මන් තීන්දුවකට එළඹෙන මෙන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.
නාවුරු දූපතේ පැවැති මෙම උද්ඝෝෂණයට දේශපාලන රැකවරණ පතා ඔස්ට්‍රේලියාව බලා යාත්‍රා කළ ඉරාන හා ඇෆ්ගන් ජාතිකයන් සමග ශ්‍රී ලාංකිකයන්ද සහභාගි වී සිටියහ.
මුහුදු මගින් පැමිනීමට වීරිය දරන අනවසර සංක්‍රමණිකයන් ගේ අනාගතය තීරණය කිරීමට පෙර නාවුරු හා පැපුවා නව ගිනි දුපත් දෙකේ රැඳවීම ඕස්ට්‍රේලියානු රජයේ අලුත්ම ක්‍රියා මාර්ගයයි.
නාවුරු කඳවුරේ රඳවා සිටින වැඩි පිරිස ලාංකිකයන්.
ඉකුත්දා මෙම දුපත් දෙකේ කඳවුරු බැලීමට ගිය ආගමන හා පුරවැසි කටයුතු භාර ඇමති ක්‍රිස් බොවන් මාධ්‍යවේදීන්ට කියා තිබුනේ තාවකාලික වශයෙන් පිහිටවනු ලැබූ මෙම කඳවුරු කල් නොයවාම ස්ථිර ඒවා ලෙස තහවුරු කැරෙන බවයි.
තම දේශපාලන රැකවරණ ඉල්ලීම සම්බන්ධ තීරණ ගැනීම කල් යන බවට අමාත්‍යවරයා විසින් තමන් හමුවේ තබන ලද පණිවිඩයෙන් කිසිසේත් සැහීමකට පත් විය නොහැකි හෙයින් කල් නොයවාම කඳවුරු රැඳවියන් පිළිබඳව තීන්දුවකට එළැඹෙන මෙන් බල කිරීම තම උද්ඝෝෂණයේ ප්‍රධාන අරමුණක් වූ බවයි නාවුරු කඳවුරේ සිට බීබීසී සංදේශය සමඟ අදහස් දැක්වූ වවුනියාවේ සිට පලා ගිය ලාංකිකයකු කියා සිටියේ.
"ඒගොල්ල කියල තියෙනවා කඳවුරු වල ඉන්න කට්ටියට අපි සලකනවා කියල. එත් අපිට සැලකීම අඩු වෙලා තියෙනවා. හරියට කෑම හම්බ වෙන්නේ නෑ. අව්ව වැඩියි. අව්ව වැඩි වුනාම සමේ රෝග, නැති රෝග ඇතිවෙනවා. ඕනෑම ලෙඩකට පිට හම්බ වෙන්නේ පැනඩෝල් විතරයි," ඔහු පැවසීය.












