
කාලිමුත්තු සිවපාදසුන්දරම් ප්‍රධාන පූජකතුමා
වයඹ පළාතේ විහාරස්ථානයකට ගෙන එනු ලබන කපිලවස්තු සර්වඥ ධාතුන් වහන්සේට ගෞරව පිණිස වාර්ෂික බිලි පූජාව අත් හිටුවන බව හලාවත මුන්නේස්වරම් භද්‍රකාලි දේවස්ථානය දැනුම් දෙයි.
බී බී සී සංදේශය සමග දුරකතනයෙන් කතා කරමින් කාලිමුත්තු සිවපාදසුන්දරම් ප්‍රධාන පූජකතුමා ප්‍රකාශ කළේ සත්ව බිලි පූජාව පැවැත්වීමට නියමිත සැප්තැම්බර් පළමු වැනිදාම ඓතිහාසික මුන්නේස්වරම් කාලි දේවස්ථානය පිහිටි වයඹ පළාතේ ධාතු ප්‍රදර්ශනය ඇරැඹෙන්නේ යැයි තමනට දැන ගන්නට ලැබුණු බවයි.
බුදු හිමියන්ගේ සර්වඥ ධාතුන් වහන්සේට 'නමස්කාර පුර්වකව ගෞරව දැක්වීමේ උතුම් චේතනාවෙන්,' බිලි පූජා අත් හිටුවීමේ තීරණය ගන්නා ලද බවයි කාලි කෝවිලේ ප්‍රධාන පූජකතුමා සංදේශයට කියා සිටියේ.
එම පියවර ගන්නා ලෙස ජනාධිපති කාර්යාලයෙන් ඉල්ලීම් කිහිපයක් ද ලැබුණු බව සිවපාදසුන්දරම් පූජකතුමා ප්‍රකාශ කරයි.
ජනපති ඉල්ලීම 'අසාධාරණ නෑ'

බිලි පූජා විරෝධීන් සහ බැතිමතුන් අතර පෙරදා ගැටුම් කාරී තත්වයක්
ජනාධිපති මහින්ද රාජපක්ෂ ගේ ඉල්ලීම අසාධාරණ එකක් නොවෙතැ'යි ප්‍රකාශ කළ මුන්නේස්වරම් භද්‍රකාලි දේවස්ථානයේ ප්‍රධාන පූජක තුමා, 'පුණ්‍ය කටයුත්තක් නිසා එතුමා එම නියෝගය කළ' බව සඳහන් කළේය.
කෙසේ වෙතත් බිලි පූජා ඔප්පු කිරීමට පැමිණෙන හින්දු සහ බෞද්ධ බැතිමතුන්ට වසර දෙකක් ම වාර්ෂික බිලි පූජා වල යෙදීමට නොහැකි වීමෙන් යම් අපහසුතාවකට මුහුණ දීමට සිදුවන බව ප්‍රකාශ කළ සිවපාදසුන්දරම් පූජකතුමා කියා සිටියේ ඒ ගැන 'දෙවියන් බලා ගත යුතු' බවයි.
නියමිත පරිදි බිලි පූජාව පැවැත්වුව හොත් සැප්තැම්බර් පළමු වැනි දින තමන් කෝවිල ඉදිරිපස 'සත්‍ය ක්‍රියාවක්' පවත්වන බවට මහජන සම්බන්ධතා අමාත්‍ය මර්වින් සිල්වා පසුගියදා කියා තිබුණි.
ඇමතිවරුන්ගේ "තර්ජන" නිසා බිලි පූජාව නො නවත්වන බව ඒ අවස්ථාවේ කියා සිටි ප්‍රධාන පූජකතුමා පැවසුවේ, ජනාධිපතිවරයා නියෝග කරන්නේ නම් පමණක් එය නැවැත්වීමට තමන් සූදානම් බවයි.
මුන්නේස්වරම් කාලි දේවස්ථානය ඉදිරිපස උද්ඝෝෂණ සහ පෙළපාලි පැවැත්වීම අඟහරුවාදා පොලිසිය විසින් අධිකරණ නියෝගයක් මගින් තහනම් කොට ගත්තේ බෞද්ධ භික්ෂුන් වහන්සේ පිරිසක් කැටුව පැමිණි බිලි පූජා විරෝධීන් සහ බැතිමතුන් අතර පෙරදා ගැටුම් කාරී තත්වයක් හට ගැනීමෙන් පසු.
පසුගිය වසරේ පොලිසිය අධිකරණ නියෝගයක් ලබා ගත්තේ බිලි පූජා අත් හිටුවීමටයි.












