
ඉතා කුරිරු චාරිත්‍රයක් බව පවසමින් බොහෝ හින්දු බැතිමතුන් මෙන්ම බෞද්ධයෝ ද බිලි පූජාවට විරෝධය පළ කරති
ඓතිහාසික මුන්නේස්වරම් කාලි දේවස්ථානය ඉදිරිපස උද්ඝෝෂණ සහ පෙළපාලි පැවැත්වීම පුත්තලම දිසා අධිකරණය විසින් තහනම් කොට තිබේ.
නියමිත පරිදි බිලි පූජාව පැවැත්වුව හොත් සැප්තැම්බර් පළමු වැනි දින තමන් කෝවිල ඉදිරිපස සත්‍ය ක්‍රියාවක් පවත්වන බවට මහජන සම්බන්ධතා අමාත්‍ය මර්වින් සිල්වා පසුගියදා මාධ්‍යවේදීන් අමතමින් කියා සිටියේය.
මෙලෙස විරෝධතාවයක යෙදෙමින් පසුගිය වසරේ බිලි පූජාවට බාධා කිරීමට ඇමතිවරයා සමත් වූ නමුත්, ලබන සිකුරාදා පැවැත්වීමට නියමිත බිලි පූජා උත්සවය බාධාවකින් තොරව පැවැත්වීමට අධිකරණ නියෝගය හේතුවෙන් අවස්ථාව උදා වී ඇති බවයි, කොළඹ සිටින බීබීසී වාර්තාකරු චාර්ල්ස් හැවිලන්ඩ් පවසන්නේ.
පුත්තලමේ මුන්නේස්වරම් කාලි දේවස්ථානයේ වාර්ෂික බිලි පූජාවේ දී හින්දු, මුස්ලිම් සහ බෞද්ධ බැතිමතුන් විසින් සිය ගණනක් එළුවන් සහ දහස් ගණන් කුකුලන් බිලි දෙන අතර, බිලි පූජාව මඟින් සමහර දෙවිවරුන් ගෙන් ආශීර්වාද ලබාගත හැකි බව ඇතැම් හින්දු බැතිමතුන්ගේ විශ්වාසයයි.
ජාතික හෙළ උරුමය
එහෙත් මෙය ඉතා කුරිරු චාරිත්‍රයක් බව පවසමින් බොහෝ හින්දු බැතිමතුන් මෙන්ම බෞද්ධයෝ ද එයට විරෝධය පළ කරති.
ගිය වසරේ ආධාකරුවන් 200 දෙනකු සමඟ කෝවිලට කඩා වැදුණු අමාත්‍ය මර්වින් සිල්වා බිලි පොජාවට ගෙනැවිත් සිටි එළුවන් බලහත්කාරයෙන් පැහැරගෙන ගොස් පූජාවට බාධා කළ අතර මේ වසරේද ඒ ආකාරයෙන්ම එයට බාධා කරන බවට ඔහු තරජනය කලැයි කෝවිලේ ප්‍රධාන පූජකතුමා බීබීසී දෙමළ සේවයට කියා සිටියේය.
ආණ්ඩුවේ පාර්ශවකාර පක්ෂයක් වන ජාතික හෙළ උරුමය ද අමාත්‍යවරයාගේ විරෝධතාවයට සහයෝගය පළ කරයි.
"ඔය මස්වලින් සියයට අනූවක්ම යන්නේ මස් කඩේට. ඕක පූජකතුමයි, බිලි පූජා කරන අයයි එකතුවෙලා කරන බිස්නස් එකක්. ඒගොල්ල ආගමට මුවා වෙලා ඔය කරන්නේ ලොකු වංචාවක්," බවයි, ජාතික හෙළ උරුමයේ නායක ඕමල්පේ සෝභිත හිමියන් චාර්ල්ස් හැවිලන්ඩ් ට කියා සිටියේ.
නමුත් අමාත්‍ය මර්වින් සිල්වා පවා මීට කලින් සිය දේවස්ථානයේ බිලි පූජාවල නිරත වී ඇති බව පෙන්වා දෙන කාලිමුත්තු සිවපාදසුන්දරම් ප්‍රධාන පූජකතුමා වැඩිදුරටත් සඳහන් කළේ, හින්දු භක්තික දෙමළ ජාතිකයන් පමණක් නොව එල්ටීටීඊ ය සමඟ සටන් වැදුණු ශ්‍රී ලංකා ආරක්ෂක හමුදා භටයන්ගේ දෙමාපියන් සහ ඥාතීන් ද බිලි පූජා සඳහා නිරන්තරයෙන් කෝවිලට පැමිණෙන බවයි.
ඇමතිවරුන්ගේ "තර්ජන" නිසා බිලි පූජාව නො නවත්වන බව ද සඳහන් කළ ප්‍රධාන පූජකතුමා, ජනාධිපතිවරයා නියෝග කරන්නේ නම් පමණක් එය නැවැත්වීමට තමන් සූදානම් බව ද පැවසූහ.












