
සත්ත්ව හිංසනයට එරෙහිව මහා සත්‍ය ක්‍රියාවක් කාලි දේවස්ථානය ඉදිරිපස පැවැත්වීමට කටයුතු කොට තිබෙන බව ඇමතිවරයා පවසයි
ඓතිහාසික හලාවත මුන්නේස්වරම කාලි දේවස්ථානයේ බිලි පූජාව සඳහා සතුන් රැගෙන ආවොත් එම සතුන් තම භාරයට ගන්නා බව මහජන සම්බන්ධතා අමාත්‍ය මර්වින් සිල්වා පවසයි.
ලබන සැප්තැම්බර් පළමු වැනි දින ආරම්භ වීමට නියමිත බිලි පූජාවේදී සිදුවන සත්ත්ව හිංසාව වැළැක්වීමට මැදිහත් වන මෙන් බොහෝ දෙනා ගෙන් තමන්ට ඉල්ලීම් ලැබී තිබෙන බවයි, ඇමතිවරයා පවසන්නේ.
එබැවින් ඒ සඳහා සතුන් ගෙන එමෙන් වලකින මෙන් ඇමතිවරයා ජනතාව ගෙන් ඉල්ලීමක් කළේ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී.
මෙවැනි බලපෑම් මඟින් කිසියම් ජන කොට්ඨාශයක ආගම ඇදහීමේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය අහිමිවන්නේ නොවේදැයි විමසූ විට අමාත්‍ය මර්වින් සිල්වා එය ප්‍රතික්ෂේප කළ බවයි, කේ එස් උදයකුමාර් බීබීසී සංදේශයට වාර්තා කරන්නේ.
"අපි තරු පහේ ප්‍රජාතන්ත්‍රවාදයෙන් පොඩ්ඩක් අයින් වෙන්න ඕන. දැන් ඔය කොටිය රජ කරන කාලේ උතුරට පෙළපාලි ගියෙත් නෑ, නැගෙනහිරට පෙළපාලි ගියෙත් නෑ, පාරේ පෙළපාලි ගියෙත් නෑ බෝම්බවලට බයේ හැංගිලා හිටියේ මහා වීරයෝ," යන්න ඒ ප්‍රශ්නයට ඇමතිවරයා පළ කළ ප්‍රතිචාරයයි.
ආණ්ඩුව විසින් "රට නිදහස් කොට දුන්" පසුව තම "වීරත්වය වීරවරයන් ලෙසින්" භාවිතා කරන මෙන්ද ඇමතිවරයා ඉල්ලා සිටියේය.
මෙම ඉල්ලීමට කෝවිලේ පූජකවරුන් අවනත නොවන්නේ නම් ගන්නා පියවර මේ මොහොතේ හෙළි කළ නොහැකි බව පැවසූ ඇමතිවරයා, සත්ත්ව හිංසනයට එරෙහිව මහා සත්‍ය ක්‍රියාවක් ලබන මස පළමු වැනි දින කාලි දේවස්ථානය ඉදිරිපස පැවැත්වීමට කටයුතු කොට තිබෙන බවට ද මාධ්‍යවේදීන්ට දැනුම් දුන්නේය.












