ප්‍රගීත් ඉන්නා තැනක් දන්නේ දෙවියන් විතරයි - මොහාන් පීරිස්

වසර ගණනාවක් මුළුල්ලේ අතුරුදහන්ව සිටින ප්‍රගීත් එක්නැලිගොඩ මාධ්‍යවේදියා සිටිනා තැනක් දන්නේ දෙවියන් වහන්සේ පමණක් බව හිටපු නීතිපති වරයා අධිකරණය හමුවේ ප්‍රකාශ කළේය.
අතුරුදහන්ව සිටින එක්නැලිගොඩ මාධ්‍යවේදියා තවමත් ජීවතුන් අතර සිටින්නේ යයි තමා එක්සත් ජාතීන්ගේ සංවිධානය හමුවේ ප්‍රකාශ නොකළ බවද වර්තමානයේ කැබිනට් මණ්ඩලයේ නීති උපදේශකවරයා සහ සෙලාන් බැංකුවේ සභාපති වරයාද වන මොහාන් පීරිස් අධිකරණය හමුවේ සාක්ෂි දෙමින් කියා සිටියේය.
එක්නැලිගොඩ ගේ අතුරුදහන්වීම සම්බන්ධයෙන් හිටපු නීතිපතිවරයා පසුගිය නොවැම්බර් මාසයේදී එක්සත් ජාතීන්ගේ සංවිධානය හමුවේ කරන ලද ප්‍රකාශයක් පිළිබඳව ප්‍රශ්න කිරීම සඳහා ඔහු අද අධිකරණය ඉදිරියට කැඳවා තිබුණි.
හොඳින් පරීක්ෂණ පවත්වා තහවුරු කරගෙන ඇති පරිදි ප්‍රගීත් විදේශයක රැකවරණ ලබා සිටින බව සැහෙන දුරට තහවුරු කරගෙන ඇති බවයි මොහාන් පීරිස් හිටපු නීතිපති වරයා හිංසා පිලිබඳ එක්සත් ජාතීන්ගේ කමිටුව හමුවේ ප්‍රකාශ කොට තිබුනේ.
රහස් ඔත්තු සේවා තොරතුරු
"මම මේක කියන්නේ ප්‍රයෝගකාරී අදහසකින් නෙවෙයි. මේක ගැන අපිට බොහෝදුරට පැහැදිලියි. අපිට මාධ්‍ය හරහා මේ ගැන තොරතුරු ලැබී තිබෙන," බව ඔහු එක්සත් ජාතීන්ගේ කමිටුව හමුවේ ප්‍රකාශ කරනු එක්සත් ජාතීන්ගේ වීඩියෝ පටයක පැහැදිලිව සටහන්ව තිබේ.
එහෙත් අද කොළඹදී අධිකරණය හමුවේ සාක්ෂිදෙමින් මොහාන් පීරිස් පැවසුවේ ප්‍රගීත් එක්නැලිගොඩ විදේශගතව ඇති බවට රහස් ඔත්තු සේවාවන් ලබාදුන් තොරතුරු මත පදනම් වී තමා එම ප්‍රකාශය කළ බවයි.
එමෙන්ම රාජ්‍ය නිලධාරියෙකු වශයෙන් තමන් විසින් කරන ලද ප්‍රකාශයක් "දේශපාලන හේතු මත වැරදි ලෙසින් වටහාගෙන" තමන් අධිකරණය හමුවට කැඳවා ප්‍රශ්න කිරීම මගින් රටේ කීර්තියට හානියක් වන බවද මොහාන් පීරිස් පැවසීය.
එක්නැලිගොඩ මාධ්‍යවේදියා අතුරුදහන් වීම පිලිබඳ නඩු විභාගය ඉන් අනතුරුව ලබන ජුලි 10 වැනි දින දක්වා කල් තබන ලදි.
නඩු විභාගයෙන් අනතුරුව බීබීසී සංදේශය සමග අදහස් දැක්වූ එක්නැලිගොඩගේ බිරිඳ සන්ධ්‍යා, ප්‍රගීත් ඉන්නා තැනක් මොහාන් පීරිස් විසින් හෙළි කරනු ඇතැයි බලාපොරොත්තුවෙන් අද අධිකරණයට පැමිණියද තමන්ට සිදුවූයේ බලාපොරොත්තු සුන්ව ආපසු යාමට බව කියා සිටියාය.
එහෙත් අතුරුදහන් වූ තම ස්වාමි පුරුෂයා සොයා ගැනීමේ සටන අත් නොහරින බවද ඇය සඳහන් කළාය.








