ඉන්දු - ශ්‍රී ලංකා බැතිමතුන් එක්ව සමරන මේ කච්චතිව් මංගල්‍යය කුමක්ද?
ශ්‍රී ලංකාවට වඩාත් දුරින්ම පිහිටි සහ ඉන්දියාවට වඩාත් ආසන්නව පිහිටි ශ්‍රී ලංකාව සතු දූපතක් වන කච්චතිව් ගැන මේ දිනවල වැඩි අවධානයක් යොමුව තිබේ.
ඓතිහාසික ශාන්ත අන්තෝනි මුනිඳුන්ගේ දේවස්ථානයේ වාර්ෂික දේව මංගල්‍යය මාර්තු 03 සහ 04 දෙදින තුළ පැවැත්වීම එම කතාබහට හේතු විය.
මෙවර ශ්‍රී ලාංකික බැතිමතුන් 2800ක් සහ ඉන්දීය බැතිමතුන් 2100ක් ඊට සහභාගි වී තිබේ.
ඉන්දීය සහ ශ්‍රී ලාංකික ධීවර ප්‍රජාව මහත් ගෞරව බහුමානයෙන් පුද පූජා පවත්වනු ලබන කච්චතිව් දූපතේ පිහිටි ශාන්ත අන්තෝනි මුනිඳුන් වෙනුවෙන් ශ්‍රී ලංකා නාවික හමුදාවේ දායකත්වයෙන් ඉදිකළ මෙම දේවස්ථානයේ වාර්ෂිකව පැවැත්වෙන දේව මංගල්‍යය සාර්ථකව පැවැත්වීම සඳහා අවශ්‍ය යටිතල පහසුකම් සැපයීම සෑම වසරකම නාවික හමුදාව විසින් සිදු කරනු ලැබේ.
ඉන්දියාව සතුව පැවති කච්චතිව් දූපත 1974 වසරේ මෙරටට පැවරීමෙන් අනතුරුව කච්චතිව් ශාන්ත අන්තෝනි දෙව් මැදුරේ වාර්ෂික මංගල්‍යය වෙනුවෙන් ඉන්දීය බැතිමතුන්ද සහභාගිවෙති.
දකුණු ඉන්දියාවේ සිට බෝට්ටු මඟින් ධීවර ජනතාව මංගල්‍යය වෙනුවෙන් පැමිණීම සාමාන්‍ය සිරිතය.
දිවංගත හිටපු අග්‍රාමාත්‍ය සිරිමාවෝ බණ්ඩාරනායක ඉන්දියානු අගමැතිනි ඉන්දිරා ගාන්ධි සමග පැවැත්වූ තියුණු සාකච්ඡාවල ප්‍රතිඵලයක් වශයෙන්, පෝක් සමුද්‍ර සන්ධියේ පිහිටි මතභේදයට හේතු පාදක වූ කච්චතීවු දූපත ශ්‍රී ලංකාවට අයත් සමුද්‍ර සීමාවේ පිහිටි බවට එකඟත්වයට පැමිණියේ ය.
බොහෝ දෙනෙකු විසඳීමට උත්සාහ කළ ද විසඳීමට නොහැකි වූ, දිගු කලක පටන් පැවති මෙම ගැටලුව ඉන්දියා - ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය දෙපලගේ එකඟත්වය මත 1974 වර්ෂයේ දී විසඳනු ලැබුවේ 1974 ජූනි 26 දින ශ්‍රී ලංකාවට කච්චතිව් දූපත ලැබීමත් සමග ය.



