කච්චතීවු: ඉන්දියාවට සමීපව පිහිටි ශ්‍රී ලාංකික දූපතේ දෙව් මංගල්‍යය අද සහ හෙට

Katchatheevu

ඡායාරූප මූලාශ්‍රය, Sri Lanka Navy

ඡායාරූප ශීර්ෂ වැකිය, කච්චතීවුහි ශාන්ත අන්තෝනි මුනිඳුන්ගේ දේවස්ථානය

ශ්‍රී ලංකාවට අයත්, ප්‍රධාන දිවයිනෙන් දුරින්ම පිහිටි දූපත වන කච්චතීවු දූපතේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යය අද සහ හෙට (මාර්තු 11,12) සීමිත පිරිසකගේ සහභාගීත්වයෙන් පැවැත්වේ.

මංගල්‍යය සඳහා ශ්‍රී ලංකාවෙන් සිය දෙනෙකු සහ ඉන්දියාවෙන් සියදෙනෙකු සහභාගී වන අතර, නිලධාරීන් ද ඇතුළුව 250කට ආසන්න පිරිසකගේ සහභාගීත්වයෙන් මෙවර මංගල්‍ය පැවැත්වීමට නියමිත යි.

අද (මැයි 11 වැනිදා) සවස මංගල්‍යය ආරම්භ කරමින් කොඩි ගස එසවීමට නියමිතව තිබේ. හෙට උදෑසන දේව මෙහෙය පැවැත්වීමට නියමිත ය.

විශේෂයෙන්ම කච්චතීවුහි පිහිටි ශාන්ත අන්තෝනි දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යය දිනයේ දී හා ඊට පෙර දිනයේ දී පමණක් දූපතට ඇතුළුවීමට වන්දනාකරුවන්ට ඉඩකඩ සලසා තිබේ.

වසරේ අනෙකුත් කාලයේ දී දේවස්ථානය වසා දමන අතර, මෙම ජනශූන්‍ය දූපතට ඇතුළුවීමට කිසිවෙකුටත් අවසර නැත.

පෙර වසරවල දී මෙන්ම මෙවර මංගල්‍යය සමයේ දී ද දිවයිනට පැමිණෙන සියලුදෙනාට ආහාරපාන සහ අනෙකුත් පහසුකම් සපයනු ලබන්නේ ශ්‍රී ලංකා නාවික හමුදාව යි.

කච්චතීවු ශ්‍රී ලංකාවට වැදගත් වන්නේ ඇයි?

කච්චතීවු දූපත ශ්‍රී ලංකාවට අයත් නමුත් ඉන්දියාවට වඩාත් සමීව පිහිටි අක්කර 163ක භූමි ප්‍රමාණයෙන් යුත් ධීවර කටයුතු සඳහා වැදගත් දූපතකි.

ඩෙල්ෆ් දූපත ආසන්නයේ, ශ්‍රී ලාංකික සහ ඉන්දියානු අන්තර්ජාතික මුහුදු සීමාවන් අතර පිහිටා ඇති මෙය ජනශූන්‍ය දූපතකි.

මේ දූපත සහ මුහුදු සීමාව සොබා සෞන්දර්යය අතින් ආකර්ෂණීය වන අතර, මේ ආශ්‍රිතව පිහිටි කාවේරි ද්‍රෝණියේ ඛනිජ තෙල් සහ ස්වාභාවික වායු නිධි පවතින බව විශ්වාස කෙරේ.

කච්චතීවු ශ්‍රී ලංකාවට

කොළඹ විශ්වවිද්‍යාලයයේ ජාත්‍යන්තර සබඳතා දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, ආචාර්ය හසිත් කන්දඋඩහේවා පවසා සිටියේ භූගෝලීය පිහිටීම අතින් ගත්විට මෙම දූපත ඉන්දියාවට වඩාත් සමීප බව යි.

1948 වසරේ නිදහසින් පසු මෙහි අයිතිය සම්බන්ධයෙන් මතගැටුම් ඇතිවිය.

ඉන්දිරා ගාන්ධිගේ සහ සිරිමාවෝ බණ්ඩාරනායකගේ පාලන සමය තුළ මේ ගැටලුවට විසඳුම් සෙවීමේ දී නායිකාවන් දෙදෙනා අතර පැවැති මිත්‍රත්වය විශාල වාසියක් අත්කර දුන් බවට ආචාර්ය හසිත් කන්දඋඩහේවා පැවසීය.

"නායකයා සහ නායකයා අතර (ලීඩර් ටු ලීඩර් ඇප්රෝච්) සබඳතාවල ප්‍රතිඵලයක් මේක. ඇත්තටම මේක ලංකාවට වාසියක්," ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයා පවසා සිටියේ ය.

"ලංකාවේ සහ ඉන්දියාවේ පාලකයින් දෙදෙනා අතර පැවති මිත්‍රත්වය නිසා භූගෝලීය සමීපස්ථානය නොසලකා - අපි කියන ජියෝලෝජිකල් ප්‍රොක්සිමිටි කියන එක නොසලකා - මේක ලංකාවට දෙනවා. මේකේ වැදගත්කම ගත්තම, පළමුවැන්න ආගමික වැදගත්කම. දෙවැන්න ආර්ථිකමය, තුන දේශපාලනික වැදගත්කම."

ආචාර්ය කන්දඋඩහේවා ප්‍රකාශ කරන්නේ මෙහි දේශපාලනික, භූ දේශපාලනික සහ ආර්ථික වැදගත්කම සුවිශේෂී බව යි.

"මෙය ඉන්දියාවට දේශපාලනික වශයෙන් ලංකාවට මැදිහත්වීමට වැදගත් සාධකයක් වුණා. නමුත් මේ ගිවිසුම තුළින් [දූපත] ශ්‍රී ලංකාවට පවරාදීම නිසා දකුණු ඉන්දීයාවට විශාල ගැටලුවක් වුණා මේ දූපත කොහොම ද හසුරුවන්නේ කියලා. ඒක එක පැත්තකින් ඉන්දියාවට අවාසියි," ඔහු පැවසුවේ ය.

"භූගෝලීය වශයෙන් මේ කලාපය තුළ දැනට හොයාගෙන තියෙනවා මන්නාරම් දෝණිය ආශ්‍රිතව තෙල් සම්පත. ඒ සම්පත්වල අයිතිය ලංකාවට ද ඉන්දියාවට ද කියලා තීරණය වෙනවා මේ දූපත හරහා. ඒකට හේතුව, අපිට තියෙනවා අනන්‍ය වූ ආර්ථික කලාපය - නාවික සැතපුම් 12ක් වෙනකන් තියෙනවා. අපිට යම් විදහකින් කච්චතීවු අයිති නොවුණා නම් අපිට අනන්‍ය වූ ආර්ථික කලාපය සීමා වෙනවා. එතකොට අපිට යම්කිසි ආකාරයකින් අනාගතයේ ගන්න පුළුවන් ප්‍රතිලාභ අඩුවෙනවා."

මෙම ප්‍රදේශයේ පවතින වටිනා සම්පත් හේතුවෙන් ශ්‍රී ලංකාව් උතුරු ප්‍රදේශය පිළිබඳ චීනයේ ද අවධානය යොමුව තිබේ.

කොළඹ චීන තානාපතිවරයා ද මීට මාස කිහිපයකට පෙර උතුරේ සංචාරය කළ අතර, එම මුහුදු ප්‍රදේශය ද නිරීක්ෂණය කළේ ය.

උතුරු ප්‍රදේශය ආශ්‍රිතව මුහුදු කූඩැල්ලන් ඇතුළු මත්ස්‍ය ව්‍යාපෘති හා පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති පිළිබඳ චීනයේ අවධානය යොමුව ඇත.

"මේ ප්‍රදේශයේ බහුලව මත්ස්‍ය සම්පත තියෙනවා. මේ මත්ස්‍ය සම්පත තියෙන්නේ මෙතෙක් අත නොතැබූ මුහුදු කලාපයක. ලංකාවේ ආර්ථිකයට ඉතා වැදගත්. ඉන්දියාවට ඕනේ මේ සම්පත‍," ආචාර්ය කන්දඋඩහේවා පවසා සිටියේ ය.

"මේකේ වටිනාකම තියෙන්නේ අනන්‍ය වූ ආර්ථික කලාපය, තෙල් ටික සහ මත්ස්‍ය සම්පත. මේ දූපත නැතිවුණා නම් ඉන්දීය ධීවරයින්ට තවත් ශ්‍රී ලංකා මුහුද සීමාවේ ඇතුළට එන්න තිබුණා."

කච්චතීවු දූපත ශ්‍රී ලංකාවට ලැබීම ඉන්දු - ලංකා ධීවර අර්බුදය විසඳීමේ ලා සුවිශේෂී සන්ධිස්ථානයක් ලෙස සැලකෙයි.

Katchatheevu

ඡායාරූප මූලාශ්‍රය, Sri Lanka Navy

ඡායාරූප ශීර්ෂ වැකිය, මංගල්‍යය සඳහා සූදානම

ජාත්‍යන්තර මුහුදු සීමා වෙන් කිරීම

දිවංගත හිටපු අග්‍රාමාත්‍ය සිරිමාවෝ බණ්ඩාරනායක ඉන්දියානු අගමැතිනි ඉන්දිරා ගාන්ධි සමග පැවැත්වූ තියුණු සාකච්ඡාවල ප්‍රතිඵලයක් වශයෙන්, පෝක් සමුද්‍ර සන්ධියේ පිහිටි මතභේදයට හේතු පාදක වූ කච්චතීවු දූපත ශ්‍රී ලංකාවට අයත් සමුද්‍ර සීමාවේ පිහිටි බවට එකඟත්වයට පැමිණියේ ය.

බොහෝ දෙනෙකු විසඳීමට උත්සාහ කළ ද විසඳීමට නොහැකි වූ, දිගු කලක පටන් පැවති මෙම ගැටලුව ඉන්දියා - ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය දෙපලගේ එකඟත්වය මත 1974 වර්ෂයේ දී විසඳනු ලැබුවේ 1974 ජූනි 26 දින ශ්‍රී ලංකාවට කච්චතීවු දූපත ලැබීමත් සමග ය.

එක්සත් ජාතීන්ගේ සමුද්‍රීය නීති සම්බන්ධයෙන් පැවති සාකච්ඡා සන්දර්භය තුළ ඉතා වැදගත්යැ යි සැලකෙන මෙම එකඟත්වය ශ්‍රී ලංකාවට තම භෞමික ජලස්කන්ධය සහ මුහුදු පත්ලෙහි ඇති සම්පත් සඳහා අයිතිවාසිකම් ඉදිරිපත් කිරීමට සහාය විය.

ඒ අනුව 1976 මාර්තු 23 වනදා මන්නාරම් සමුද්‍ර සන්ධිය සහ බෙංගාල බොක්කේ සමුද්‍ර සීමාවන් වෙන් කිරීම සිදුවිය.

මෙම ධීවර ප්‍රශ්නය ශ්‍රී ලංකාවට මෙන්ම ඉන්දියාවට ද සෘජුව බලපාන කරුණකි.

ඉන්දීය ධීවර ආක්‍රමණය හේතුවෙන් ශ්‍රී ලංකාවට දැවැන්ත ආර්ථික හානියක් සිදුවෙමින් පවතින බවට ධීවර සංගම් සහ විශේෂඥයින් පවසයි.

එසේම ඉන්දීය ධීවරයින් මෙරට අත්අඩංගුවට පත්වීමත් සමග දකුණු ඉන්දීය දේශපානඥයින්ගෙන් ඉන්දීය මධ්‍යම රජයට එල්ලවන බලපෑම ඉහළ මට්ටමක පවතියි.

එබැවින් සාමකාමීව මෙම ප්‍රශ්නයට විසඳුම් සෙවීම සඳහා දෙරටේම මනා දේශපාලනික මැදිහත්වීමක් අවශ්‍ය බව විචාරක මතය යි.

1976 දී දෙරට අතර තවත් ගිවිසුමක් ඇති වූ අතර, එමඟින් ශ්‍රී ලාංකිකයන්ට ඉන්දියානු මුහුදු සීමාව තුළ හෝ ඉන්දියානුවන්ට ශ්‍රී ලාංකීය මුහුදු සීමාව තුළ හෝ ධීවර කර්මාන්තයේ යෙදීම තහනම් කෙරිණි.

යම් මුහුදු සීමාවකට ඇතුළුවීමේ අවශ්‍යතාවයන් පවතියි නම් අදාල මුහුදේ අයිතිය දරණ රාජ්‍යයේ අවසර ලබාගත යුතු විය.

ජයලලිතාගේ ඉල්ලීම

ශ්‍රී ලංකාව තුළ 1990 දශකයේ පැවති සිවිල් යුද්ධයත් සමග තමිල්නාඩු ප්‍රාන්තය නව යෝජනා සම්මතයක් මඟින් නැවතත් කච්චතීවු දූපත පිළිබදව ප්‍රශ්න කිරීම ඇරඹීය.

ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධය හේතුවෙන් මෙම කාලසීමාව තුළ ඉන්දියානු ධීවරයින් ශ්‍රී ලංකා මුහුදු සීමාව පහසුවෙන් සහ අනවසරයෙන් භාවිත කළේ ය.

2008 වර්ෂයේ දී තමිල්නාඩු ප්‍රාන්තය තුළ ජයලලිතා ජයරාම් බලයට පත්වීමත් සමගම තමිල්නාඩු ප්‍රාන්ත ආණ්ඩු විසින් 1974 සහ 1976 ගිවිසුම් බල රහිත කරන ලෙසට ඉල්ලමින් එරට ශ්‍රේෂ්ඨාධිකරණයෙහි පෙත්සම් ගොනු කරන ලදී.

ඉන්දීය මධ්‍යම රජයේ ස්ථාවරය

ඉන්දියාවට අයත් කිසිදු භූමි ප්‍රදේශයක් ශ්‍රී ලංකාවට පවරා නොමැති බැවින් කච්චතීවු ශ්‍රී ලංකාවෙන් ලබා ගැනීමේ ප්‍රශ්නයක් මතු නොවන බව මධ්‍යම රජය 2013 වසරේ ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණයට දන්වා සිටියේ ය.

කච්චතීවු දූපත ශ්‍රී ලංකාවෙන් ලබාගන්නා ලෙස ඉල්ලා එවකට තමිල්නාඩු මහ ඇමතිනී ජයලලිතා විසින් ගොනුකළ රිට් පෙත්සමකට ඉන්දීය මධ්‍යම රජය අධිකරණය වෙත එලෙස නිල ප්‍රතිචාරය දක්වා තිබුණි.

2008 දෙසැම්බරයේ දී ADMK පක්ෂයේ මහ ලේකම්වරිය ලෙස පෙත්සම ගොනු කළ ජයලලිතා, රාමේෂ්වරම් වෙරළට ඔබ්බෙන් වූ දූපතක් වන කච්චතීවු ශ්‍රී ලංකාවට පැවරීම සම්බන්ධයෙන් 1974 සහ 1976 එළඹෙන ලද ගිවිසුම් ව්‍යවස්ථා විරෝධීබවට ප්‍රකාශ කරන ලෙස ඉල්ලා සිටියා ය.

ගිවිසුම් දෙකට අනුව ඉන්දීය ධීවරයින්ට ශ්‍රී ලංකා මුහුදු සීමාවේ ධීවර අයිතියක් ලබා දී නොමැති බව ඉන්දීය මධ්‍යම රජය අවධාරණය කළේ ය.

ගිවිසුම් යටතේ "ඉන්දියානු ධීවරයින්ට සහ වන්දනාකරුවන්ට කච්චතීවු නැරඹීමට ප්‍රවේශය භුක්ති විඳිය හැකි අතර මෙම අරමුණු සඳහා ශ්‍රී ලංකාවෙන් සංචාරක ලියකියවිලි හෝ වීසා ලබා ගැනීමට අවශ්‍ය නොවේ. කෙසේ වෙතත්, එම ප්‍රවේශවීමේ අයිතිය ඉන්දීය ධීවරයින්ට කච්චතීවු දිවයින වටා මසුන් ඇල්ලීමේ අයිතිය ලෙස තේරුම්ගත යුතු නැතැ" යි ඉන්දීය මධ්‍යම රජය ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණයට කරුණු දක්වමින් එවකට අවධාරණය කළේ ය.