කෘෂිකර්මාන්තය : 'ඇමතිතුමනි, කුඹුරු වැඩ කරන ගොවියෝ මඩවන්න එපා'

වීඩියෝ ශීර්ෂ වැකිය, කෘෂිකර්මාන්තය : ''ඇමතිතුමනි, කුඹුරු වැඩ කරන ගොවියෝ මඩවන්න එපා.''

හෙක්ටයාරයකට රුපියල් 10,000 බැගින් ලබා දෙන දිරි දීමනාව වහා ලබා දෙන්නැයි බල කරමින් ගොවීහු පොළොන්නරුව, මනම්පිටියේ ගොවිජන කාර්යාලයට ගොස් විරෝධය පළ කළහ.

ගොවීන් සුළු පිරිසකට මාස දෙකකට පමණ පෙර එම මුදල් ලබා දුන්න ද තමන්ට තවමත් මුදල් නොලැබුණු බව ඔවුහු පවසති.

''කෘෂිකර්ම ඇමතිතුමාට කියන්නේ කුඹුරු වැඩ කරන ගොවියෝ මඩවන්න එපා. ඒක දෙනවා නම් වෙලාවට දෙන්න.'' යනුවෙන් දිඹුලාගල කොට්ඨාස ගොවි සංවිධාන එකමුතුවේ සභාපති උෂාන් වික්‍රමසූරිය කියා සිටියේය.

ගොවීන්ට බෙදා දීම සඳහා ආසියානු සංවර්ධන බැංකුවෙන් රුපියල් බිලියන අටක මුදලක් ලැබුණු අතර ඉන් රුපියල් බිලියන 5.5ක් බෙදා දී ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

ගොවීන් ලබා දී ඇති බැංකු ගිණුම් පිළිබඳ විස්තර වලින් 38% නිවැරදි නොවන අතර ඇතැම් නිලධාරීන් රජයේ මෙම වැඩසටහනට සහය නොදීම ද මුදල් ප්‍රමාදයට හේතු වී ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරන ලදී.