ශ්‍රී ලංකාවේ පර්යේෂණ : 'මගේ විශිෂ්ටම සොයා ගැනීමෙන් රටට වැඩක් ගන්නවාද ?'

මිනිස් ශුක්‍රාණුවල චලනය වැඩි කිරීම සඳහා දැනට ලෝකයේ භාවිත කරන රසායනික සංයෝගයට වඩා 28 ගුණයක් ප්‍රභල සංයෝගයක් තමන් සොයා ගත්ත ද මේ දක්වා එයින් රටට ප්‍රයෝජනයක් ගැනීමට නොහැකි වූ බව කාර්මික තාක්ෂණ ආයතනයේ සභාපති, කොළඹ විශ්ව විද්‍යාලයේ හෙද විද්‍යා පීඨයේ කථිකාචාර්ය, ආචාර්ය සිරිමල් ප්‍රේමකුමාර BBCයට පැවසුවේය.

විද්‍යාඥයෙකු ලෙස ඔහු දායක වූ පර්යේෂණවල ප්‍රතිඵල, දේශීය හා ජාත්‍යන්තර විද්‍යාත්මක පර්යේෂණ පත්‍රිකා 350කට වැඩි සංඛ්‍යාවක් මඟින් මේවන විට ප්‍රකාශයට පත්කර තිබේ.

''මගේ ජීවිත කාලයේ කළ විශිෂ්ටම සොයා ගැනීම මේක. මම අවුරුදු දහයකට වැඩි කාලයක් උත්සාහ කළා මේකට ජාත්‍යන්තර පිළිගැනීමක් තියෙන පේටන්ට් බලපත්‍රයක් ගන්න. ඒකෙන් රටට ප්‍රයෝජනයක් ගන්න. නමුත් ඒක කරගන්න බැරි නිසා මම අඩුගානේ ලංකාවේ පේටන්ට් එකක්වත් අරගෙන මේක විද්‍යාත්මක පර්යේෂණ පත්‍රිකාවකින් ලෝකයට හඳුන්වා දෙනවා. එතකොට අනාගතේ දවසකවත් මේකෙන් ඖෂධයක් නිෂ්පාදනය කරයි කියන අහිංසක බලාපොරොත්තුව තියෙනවා.'' යැයි ආචාර්ය සිරිමල් ප්‍රේමකුමාර වැඩිදුරත් කියා සිටියේය.