ස්විට්සර්ලන්තයේ ග්ලැසියර දියවීමෙන් යුරෝපයේ ජල සැපයුමට තර්ජන

ගතවූ වසර සියයකටත් වඩා අඩු කාලයක දී ස්විට්සර්ලන්තයේ ග්ලැසියරවල පරිමාවෙන් අඩකට වඩා දියවීගොස් තිබේ. නව අධ්‍යයනයක් හෙළි කරන්නේ මෙම වසරේ පැවති දැඩි උණුසුමෙන් යුතු දිගු ගිම්හාන සෘතුව ද ග්ලැසියර දියවීම තවත් වේගවත් කර ඇති බව යි.

මෙම ග්ලැසියර, හිම මත ලිස්සා යාමේ ක්‍රීඩාව සඳහාම වෙන් වූ නිකේතනවල පැවැත්මට හේතු වන අතර, ගිම්හාන කාලයේ දී කඳු නගින්නන්ගේ ආකර්ෂණය ද දිනා ගනියි. නමුත් ඒවා යුරෝපයේ ජල සැපයුම සඳහා ද අත්‍යවශ්‍ය වේ. මෙම ග්ලැසියර දියවී යාමත් සමග, ඇල්ප්ස් කඳුකරය පුරා සිටින ප්‍රජාවන් තම අනාගතය ගැන ඉමහත් කණස්සල්ලට පත්ව සිටිති.

ස්විට්සර්ලන්තයේ, මුහුදු මට්ටමේ සිට මීටර් 3 000ක් පමණ ඉහළ සීමාවේ දී සාමාන්‍යයෙන් නම් අයිස් දැකීමට හැකිවිය යුතු ය. නමුත් කේබල් කාර් සමාගමක් වන ග්ලැසියර් 3000 ක්‍රියාත්මක වන ලේ දියාබ්ලොහේ ගම්මානයට ඉහළින් දැන් හිම රහිත පාෂාණයන්ගෙන් යුත් විශාල ප්‍රදේශ දකින්නට තිබේ.

සන්ෆ්ලුරොන් සහ සෙක්ස් රූජ් ග්ලැසියර ද්විත්වය මේ වන විට දෙකට බෙදී ඇත්තේ වසර දහස් ගණනක් තිස්සේ හිමෙන් වැසී තිබූ පොළොව නිරාවරණ කරමිනි. "අපි මෙතන ඇවිදින පළමු පුද්ගලයො වෙන්න පුළුවන්," ග්ලැසියර් 3000 සමාගම පවත්වාගෙන යන බර්නාඩ් චෙනන් පවසයි.

චෙනන්ගේ දෙනෙත් ඉදිරිපිට දීම මෙසේ අතුරුදන් වෙමින් යන්නේ ස්විට්සර්ලන්තයේ ඇති ආකර්ෂණීයම භූමි දර්ශනයකි.

මෙහි පැමිණෙන සංචාරකයන් හට ඊගර් ද, මැටර්හෝන් ද, මොන්ට් බ්ලැන්ක් දක්වාම ද පිහිටි කඳු මුදුන් දැකගැනීමේ හැකියාව ඇත. ඉතා මෑතක් වන තෙක්ම සැතපුම් ගණනක් දුරට විහිදුණු පෞරාණික නිල් ග්ලැසියර හරහා ගමන් කිරීමේ හැකියාව ද පැවතුණි.

දැන්, අයිස් දියවුණු ස්ථානවල ගල්, මඩ, සහ කුඩා දිය වලවල් පිහිටා ඇති අතර, එය පෙර හා සැසඳීමේ දී විශාල වෙනසකි.

"අවුරුදු විසි තුනකට කලින් මේ නැරඹුම් සෝපානය හදන්න අපට මේ අයිස් තට්ටුව මීටර් හතක් යටට හාරන්න සිද්ධවුණා," ඔහු පැහැදිලි කරයි. "බලන්න," ඔහු පෙන්වන්නේ මීටර කිහිපයක් ඈත ස්ථානයකි. "කෝ දැන් ග්ලැසියරේ?"

ඇල්පයින් ග්ලැසියර හැකිලීම, වසර ගණනාවක් තිස්සේ විද්‍යාඥයින්ගේ නිරීක්ෂණයට ලක්වී තිබේ. සුරිච්හි, තාක්ෂණය සඳහා වූ ෆෙඩරල් ආයතනයේ සහ භුමි දර්ශන සඳහා වූ ස්විස් ෆෙඩරල් ආයතනයේ ඒකාබද්ධ අධ්‍යයනයක් විසින්, 1930 ගණන්වල දී ලබාගන්නා ලද මෙම ග්ලැසියරවල භුවිෂමතා පින්තූර, පසුගිය වසර දහයක කාලය තුළ දී ලබාගන්නා ලද පින්තූර සමග සංසන්දනය කරන ලදී.

ස්විට්සර්ලන්ත ග්ලැසියර කුඩා වෙමින් පවතින බව විද්‍යාඥයින් නිරීක්ෂණය කරයි.

මෙම සොයාගැනීම්, යුරෝපයේ ග්ලැසියර හැකිලෙමින් පවතින බවටත්, අයිස් දියවීම සහ ගෝලීය උණුසුම අතර සෘජු සම්බන්ධයක් පවතින බවටත් දීර්ඝ කාලයක් තිස්සේ ලැබුණු සාක්ෂිවලට අනුකූල වේ.

පෘථිවියේ අයිස් ආවරණ උෂ්ණත්වයේ වෙනස්වීම්වලට ඉතාමත් සංවේදී ය. එබැවින් පෘථිවිය උණුසුම්වීමේ දී එහි මුලින්ම එහි බලපෑමට ලක්වන්නේ ද, දියවීම මඟින් මුලින්ම ඊට ප්‍රතිචාර දක්වන්නේ ද මෙම ග්ලැසියර යි.

සන්ෆ්ලුරොන් සහ සෙක්ස් රූජ් ග්ලැසියර ද්විත්වය නිරීක්ෂණය කිරීම භාරව ඇත්තේ බර්න් විශ්වවිද්‍යාලයයේ ග්ලැසියර විද්‍යාඥයෙකු වන මවුරෝ ෆිෂර්ට ය. සෑම වසරකම වසන්තයේ දී මෙහි අයිස් මිනුම් දඬු ස්ථාපනය කරන ඔහු ගිම්හාන සහ සරත් සෘතුවල දී ඒවා නිතිපතා පරීක්ෂා කිරීමට කටයුතු කරයි.

මෙම ජූලි මාසයේ දී ඒවා පරීක්ෂා කිරීමට ගිය විට දුටු දෙයින් ඔහු කම්පාවට පත්විය.

අයිස් සම්පූර්ණයෙන්ම දියවී යාම නිසා ඔහු විසින් සිටුවා තිබූ අයිස් මිනුම් දඬු බිම පෙරළී තිබුණි. ඔහුගේ අයිස් මිනුම් "කිසිදා නුදුටු අන්දමේ - ග්ලැසියර නිරීක්ෂණය පටන්ගැන්මේ ඉඳන්ම අපි මෙතෙක් දුටු මිනුම්වලට වඩා බොහෝ සෙයින් වැඩිවුණු මිනුම්. පසුගිය වසර 10 තිස්සේ නිරීක්ෂණය කරපු සාමාන්‍ය අගයට වඩා තුන් ගුණයක අයිස් දියවීමක් වසරක් දියවෙලා," ඔහු පවසයි.

මෙම අයිස් දියවීම සමගම මෙම ප්‍රදේශයට අනතුරක් ද ළඟා වේ. ග්ලැසියර දියවී යන විට, වරක් අයිස්වලින් එකට එක්වී තිබූ පර්වත අස්ථායී වන බැවින් සුප්‍රසිද්ධ සර්මැට් නිවාඩු නිකේතනයේ සිට මැටර්හෝන් දක්වා කඳු නැගීමේ මංපෙත් වසා දැමීමට සිදුවී තිබේ.

රිචඩ් ලෙනර්, ඔහුගේ පියා සහ සීයා මෙන්ම සර්මැට්හි කඳු නැගීමේ මාර්ගෝපදේශකයෙකු ලෙස සේවය කරන්නෙකි. ඔහු මෙම ග්‍රීෂ්ම ඍතුවේ කඳු නැගීම සඳහා ගතකර ඇත්තේ ඉතා අඩු කාලයක් වන අතර, අවදානම් මාර්ග අලුත්වැඩියා කිරීමට සහ අවදානම් ස්ථාන මඟහරිමින් මාර්ග යළි ස්ථානගත කිරීමට වැඩිකාලයක් ගත කිරීමට ඔහුට සිදුව තිබේ. ගෝර්නර් ග්ලැසියරය හරහා කෙලින්ම ඇවිද යෑමට හැකිව තිබූ කාලය ඔහුට මතක ය. නමුත් තවදුරටත් එසේ කිරීමේ හැකියාවක් නැත.

"කඳුකරයේ නිත්‍ය තුහින (වසර පුරාම නොදියවී පවතින පස් හා අයිස් තට්ටුව) දියවෙන්න පටන් අරන්. ශීත ඍතුවේ වැටුණු හිම ප්‍රමාණවත් නැති නිසා ග්ලැසියරය තව තවත් ඉරි තලනවා. ඒකෙන් අපේ කාර්යය තවත් අභියෝගාත්මක වෙනවා. අවදානම් කළමනාකරණය ගැන මීට වඩා හිතා බලන්න අපට සිද්ධවෙලා තියෙනවා."

ග්ලැසියර දියවීම නිසා දිගුකාලීන රහස් ද හෙළි වේ. මෙම ගිම්හානයේ දී අයිස් දියවී යාමෙන් පසුව, 1968 දී කඩා වැටුණු ගුවන් යානයක සුන්බුන් ආලෙච් ග්ලැසියරයෙන් මතු වී තිබේ. දශක ගණනාවක් තිස්සේ අතුරුදහන්ව සිටි කඳු නගින්නන්ගේ අයිස්වලින් පරිපූර්ණ ලෙස සංරක්ෂණය වූ සිරුරු ද හමුවෙමින් පවතියි.

නමුත් අයිස් දියවීම නිසා ලැබෙන ප්‍රතිවිපාක, ඉන් දේශීය සංචාරක ව්‍යාපාරයට සිදුවන පාඩුව හෝ නැතිවූ කඳු නගින්නන් සොයාගැනීමට ඇති හැකියාවට වඩා බෙහෙවින් පුළුල් ය.

ග්ලැසියර සාමාන්‍යයෙන් හැඳින්වෙන්නේ යුරෝපයේ 'වතුර ටැංකි' ලෙස ය. ඒවා ශීත ඍතුවේ දී හිම ගබඩාකර, ගිම්හානයේ දී කෙමෙන් මුදාහරින්නේ යුරෝපයේ ගංගා පෝෂණය කරමිනි. මේ ගංගා බෝග වගාවන් සඳහා ජලය සපයන අතර න්‍යෂ්ඨික බලාගාර සිසිල් කිරීම සඳහා ද උපකාරී වේ.

මෙම ගිම්හානයේ දී දැනටමත්, ජර්මනියේ රයින් ගඟ ඔස්සේ භාණ්ඩ ප්‍රවාහනයට බාධා එල්ල වී තිබේ. ඒ, භාණ්ඩ පැටවූ බත්තල් යාත්‍රා කිරීම සඳහා ප්‍රමාණවත් ගැඹුරකින් යුතු ජල මට්ටමක් ගංගාවේ නොමැතිවීම හේතුවෙනි. එමෙන්ම, ස්විට්සර්ලන්තයේ ගංගාවල මියයන මසුන් බේරාගැනීමට කඩිමුඩියේ ක්‍රියාත්මකවීම් ද දකින්නට ලැබේ. උන්ට ජීවත්වීමට නොහැකි තරමට ගංගා නොගැඹුරු සහ අධික ලෙස උණුසුම්ව තිබීම මෙයට හේතුව යි.

ප්‍රංශයේ සහ ස්විට්සර්ලන්තයේ න්‍යෂ්ටික බලාගාරවල ධාරිතාව අඩු කිරීමට ද සිදුව ඇත්තේ, ඒවා සිසිල්කිරීමට අවශ්‍ය තරම් ජලය නොමැතිවීම හේතුවෙනි.

මෙය, ඉදිරියේ දී සිදුවීමට නියමිත දෙය පිළිබඳ සංඥාවක් බව ලෝක ග්ලැසියර නිරීක්ෂණ සේවයේ සැමුවෙල් නුස්බෝම විශ්වාස කරයි.

ඔහුට අනුව වර්තමාන තත්ත්වයන් හා ගලපා බැලීමේ දී මෙම සියවස අවසන් වන විට ඉතිරිවන අයිස් ස්කන්ධයන් කඳු මුදුන්වලට සීමාවනු ඇත: "මීටර් 3 500ට වඩා වැඩි උස කඳු මුදුන්වල, තවත් අවුරුදු 100ක් විතර අයිස් ඉතිරිවෙලා තියේවි. ඉතින්, මේ අයිස් දියවෙලා ගියොත් වතුර නැතිවෙන්න බොහෝ ඉඩකඩ තියෙනවා."

මෙම ග්‍රීෂ්ම සෘතුවේ සිදුවූ මහා අයිස් දියවීම කෙරෙහි මේ වනවිට අවධානය යොමුවී ඇත. ග්ලැසියර විද්‍යාඥ මවුරෝ ෆිෂර් පවසන්නේ, ග්ලැසියර නිරීක්ෂණ කටයුතුවලින් ලද දත්ත නිසාවෙන් මෙම තත්ත්වය ඔහු අපේක්ෂා කළ දෙ, එය සිදුවනු දැකීම ඔහු හැඟීම්බර කළ බව යි. "මට දැනෙන්නේ දියවෙන ග්ලැසියර අඬනවා වගේ. අපි වෙනස් වෙන්න ඕනේ කොහොමද කියලා මේ උස් කඳුකර පරිසරය හඬමින් අපිට කියනවා. ඒක මට මහා දුකක් ගෙනාවා."

ග්ලැසියර් 3000හි බර්නාඩ් චෙනන්, අයිස් දියවන වේගය අඩු කිරීම සඳහා ඉතිරිව ඇති අයිස්වලින් සමහරක් ආරක්ෂිත ආවරණවලින් වැසීම අරඹා ඇත. මේ තත්ත්වය පිළිබඳව ඔහුට දැනෙන්නේ අසරණකමක්දැ යි ඇසූවිට පිළිතුරු වශයෙන් ලැබුණේ දිගු විරාමයකි.

"සමහර විට මේ වැඩෙන් ග්ලැසියර දියවෙන වේගය අඩු කරන්න යම් දායකත්වයක් සැපයෙනවා වෙන්න පුළුවන්. නමුත්, ඒක සම්පූර්ණයෙන්ම නතර කරන එක - අඩු තරමේ මේ උන්නතාංශයේ දී ඒක කරන එක - අපට කරන්න බැරිබව යි මගේ විශ්වාසය."

සර්මැට්හි, රිචඩ් ලෙහ්නර්ගේ මුතුන්මිත්තන්ගේ පරපුර, ග්ලැසියරයන් මිටියාවත තුළට මෙතරම් දුරක් විහිද, සිය තණබිම් ආවරණය නොකරනු ඇතැ යි අපේක්ෂා කළහ. 19 වන ශතවර්ෂයේ දී කෙතරම් අයිස් තිබුණේ ද යත් ස්විට්සර්ලන්ත ඇල්පයින්හි ජීවත්වූ දිළිඳු ප්‍රජාව ග්ලැසියරයේ කොටස් කපා, ෂැම්පේන් සීතලට තබා ගැනීම සඳහා පැරිස් හෝටල්වලට විකීණීමට ද කටයුතු කර තිබුණි.

දැන් ඒ යුගය පසුවී බොහෝ කාලයක් ගෙවීගොස් ඇති අතර, කිසිවෙකුත් ඒ කාලය අවසන්වීම ගැන විශේෂයෙන් තකන්නේ ද නැත.

නමුත් ග්ලැසියර සියල්ලම දියවයෑම?

"අපට ලොකු ගැටළුවක් මේ ඇතිවෙලා තියෙන්නේ," රිචඩ් පවසයි. "ඒක මේ කඳුකරේ විතරක් නෙවෙයි, යුරෝපෙ පුරාවටම බලපානවා. මේ ග්ලැසියර, මේ වතුර, මම දන්නේ නෑ අපි ග්ලැසියර නැතුව ජීවත්වෙන්නේ කොහොමද කියලා.