යුවාන් වැන්ග් 5:ආන්දෝලනාත්මක චීන පර්යේෂණ නෞකාව හම්බන්තොටට

නෞකාව වරායට ළඟා වූ අවස්ථාව
ඡායාරූප ශීර්ෂ වැකිය, අද උදෑසන නෞකාව වරායට ළඟා වූ අවස්ථාව

භූ දේශපාලනික අර්බුදයක් දක්වා වර්ධනය වූ ආන්දෝලනාත්මක චීන පර්යේෂණ නෞකාවක් වන යුවාන් වැන්ග් 5 නෞකාව ශ්‍රී ලංකාවේ අවසරය මත අද උදෑසන 8 ට පමණ හම්බන්තොට වරායට පැමිණි අතර මේ වන එහි නැංගුරම් ලා තිබේ.

ඒ අනුව හාබර් මාස්ටර් නිර්මාල් පී සිල්වා පැවසු පරිදි නෞකාවට අද අගෝස්තු 16 සිට එළඹෙන අගෝස්තු 22 දක්වා හම්බන්තොට නැංගුරම් ලා තැබීමට අවසර ලැබෙනු ඇත.

විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කළේ, සියලු කරුණු පිළිබඳ සැලකිල්ල යොමු කිරීමෙන් පසු නෞකාවට මෙරටට පැමිණීම සඳහා වන අවසරය ලබා දුන් බවයි.

නෞකාව මෙරටට පිළිගැනීම සඳහා උත්සවයක් වරාය පරිශ්‍රයේ දී පැවැත්විණි.

නෞකාව පිළිගැනීම සඳහා හම්බන්තොට වරාය පරිශ්‍රයේ දී පැවැති උත්සවය අතරතුර
ඡායාරූප ශීර්ෂ වැකිය, නෞකාව පිළිගැනීම සඳහා හම්බන්තොට වරාය පරිශ්‍රයේ දී පැවැති උත්සවය අතරතුර

උත්සවය අමතමින් කොළඹ චීන තානාපති කී සෙන්හොන්ග් කියා සිටියේ "හම්බන්තොට වරාය කියන්නේ චීනයේ එක් තීරයක් එක් මාවතක් ව්‍යාපෘතිය චීන ශ්‍රී ලංකා බැඳීමේ සංකේතය. ඒ වගේම මේ වරාය ආර්ථිකය යළි ගොඩනඟා ගන්න ස්වයංව සංවර්ධනය වෙන්න ශ්‍රී ලංකාවට තියන හැකියාව තිව්‍ර කරන තැනක්.මේ සංචාරයේ චීන ශ්‍රී ලංකා රාජතාන්ත්‍රික සම්බන්ධතාවල 65 වැනි සංවත්සරය සැමරීමේ සලකුණක් තබනවා. ඒ වගේම රබර් සහල් ගිවිසුමේ 70 වැනි සංවත්සරය. අපි මෙවර ඉන්දීය සාගරයේ වෙනස්ම රළු අත්දැකීමක් වින්දත් හම්බන්තොට අද යුවාන් වැන්ග් 5 පැමිණ තිබෙනවා. එය ඔබගේ ධෛර්යය,ස්ථිරභාවය පමණක් නොවේ අපගේ රටවල් දෙක සමඟ ඇති ගැඹුරු මිත්‍රත්වය ද විදහා දක්වනවා."යනුවෙනි.

එහිදී හිටපු අමාත්‍ය සරත් වීරසේකර රජය වෙනුවෙන් එම උත්සවයට සහභාගී වෙමින් චීන ජනරජයෙන් ඉල්ලා සිටියේ ශ්‍රී ලංකාවට මෙම මොහොතේදී ණය ප්‍රතිව්‍යුහගත කිරීමටත් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ පවත්වන සාකච්ඡා සාර්ථක කරගැනීමටත් ශ්‍රී ලංකාවේ දිගුකාලින මිතුරෙකු ලෙස උපකාර කරන ලෙසයි.

"චීනය ඇතුළු අපගේ ජාත්‍යන්තර මිතුරන්ගේ සහය අපට ලැබුනහොත් රටේ පැනනැගී ඇති ආර්ථික අර්බුදයට පිළියම් යෙදිය හැකි බව" ඔහු පැවසීය.

වීරසේකර පැවසුවේ මෙම අවස්ථාව අප දෙරටේ සයෝගිතාවය වර්ධනය වීමට හේතුවක් වන බවයි.

අද උදෑසන නෞකාව වරායට ළඟා වූ අවස්ථාවේ එහි පැමිණි දෙරටේම ආරාධිත අමුත්තන්
ඡායාරූප ශීර්ෂ වැකිය, අද උදෑසන නෞකාව වරායට ළඟා වූ අවස්ථාවේ එහි පැමිණි දෙරටේම ආරාධිත අමුත්තන්

"බටහිර ජාතීන්ට ශ්‍රී ලංකාව, චීනය හා ඉන්දියාව අතර ඇති බැඳීම වටහා ගත නොහැකියි. අප‍ ජාතීන් ත්‍රිත්වය බුද්ධ ධර්මය, වෙළදාම හා ආධාර, උපායශීලි සම්බන්ධතා හා ජාත්‍යන්තර සබඳතා මත වර්ධය වී ඇත. ආසියාව ශක්තිමත් කිරීමට ආසියානුවන් එකමුතුවී වැඩ කල යුතුයි. චීනය ශ්‍රී ලංකාවට අත්හළ නොහැකි සහ විශ්වාස කළහැකි මිතුරෙකි." ඔහු එහිදී කියා සිටියේය.

යුවාන් වැන්ග් 5 මුලින් අගෝස්තු 11 දා හම්බන්තොට වරායට පැමිණීමට නියමිතව තිබූ අතර, ඉන්දියාවේ විරෝධය මත සංචාරය දින නියමයක් නොමැතිව කල් දැමුණි.

Yan wang ship
ඡායාරූප ශීර්ෂ වැකිය, යුවාන් වැන්ග් 5: චීන පර්යේෂණ නෞකාව

නෞකාවේ හම්බන්තොට සංචාරය ප්‍රමාද කරන ලෙස විදේශ කටයුතු අමාත්‍යංශය කොළඹ චීන තානාපති කාර්යාලයට මීට පෙර දැනුම් දී තිබුණි.

විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කළේ අනතුරුව මෙම ප්‍රශ්නය විසඳා ගැනීම සඳහා රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් ඉහළ මට්ටමේ උපදේශන පැවති බවයි.

"රාජ්‍යයයන්ගේ ස්වෛරී සමානාත්මතාවයේ මූලධර්මයට අනුකූලව, අදාළ සියලු පාර්ශ්වයන්ගේ අභිලාශයන් සැලකිල්ලට ගනිමින්, අන්‍යෝන්‍ය විශ්වාසය සහ සංවාදය තුළින් මෙය විසඳා ගැනීම සඳහා එම සාකච්ඡා පැවැත්වු" බව විදේශ කටයුතු අමාත්‍යංශය නිවේදනය කළේය.

එහි දැක්වෙන්නේ සියලු රටවල් සමඟ සහයෝගීතාවය සහ මිත්‍රත්වය පිළිබඳ ශ්‍රී ලංකාවේ ප්‍රතිපත්තිය නැවත අවධාරණය කිරීමට අමාත්‍යාංශය අපේක්ෂා කරන බවයි.

"අසල්වැසි රටවල ආරක්ෂාව සහ සහයෝගීතාවය අතිශයින්ම ප්‍රමුඛ" වන බවද විදේශ කටයුතු අමාත්‍යංශය අවධාරණය කළේය.

Chinese Ship 16/08/22
ඡායාරූප ශීර්ෂ වැකිය, නෞකාව පිළිගැනීමේ උත්සවයේ අවස්ථාවක්

මොකද්ද මේ යුආන් වැන්ග් 5 නෞකාව?

යුආන් වැන්ග් 5 නෞකාව YUAN WANG 5 (IMO: 9413054) නෞකාව යනු 2007 (වසර 15 කට පෙර) ඉදිකරන ලද සහ චීනයේ ධජය යටතේ යාත්‍රා කරන පර්යේෂණ/සමීක්ෂණ යාත්‍රාවකි.

එහි රැගෙන යා හැකි ධාරිතාව ටොන් 11000 වන අතර නෞකාවේ සමස්ත දිග මීටර් 222 ක් වන අතර පළල මීටර් 25.2 කි.

යුවාන් වැන්ග් 5 යනු යුවාන් වැන්ග් ශ්‍රේණියේ තුන්වන පරම්පරාවේ ලුහුබැඳීමේ නෞකාව වන අතර ජියැන්ග්නන් නැව් තටාකාංගනය විසින් නිර්මාණය කරන ලද්දකි.

චීනයේ අභ්‍යවකාශ යානා ලුහුබැඳීමේ නෞකාව Yuan wang-5, එරටේ Long March-5B රොකට්ටුව දියත් කිරීම සඳහා සමුද්‍රීය ලුහුබැඳීම් සහ මිනුම් මෙහෙයුම සඳහා යොදාගනී.

2000 දශකයේ මුල් භාගයේ සිට චීනය ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයට සාමාජික රාජ්‍යයක් ලෙස සම්බන්ධ වීමට උනන්දු වූ නමුත් බොහෝ වාරයක් චීනයේ සාමාජිකත්වය ප්‍රතික්ෂේප කරන ලදී. එවන් පසුබිමක යුවාන් වැන්ග් 5 වැනි ලුහුබැඳීමේ විද්‍යාත්මක පර්යේෂණ යාත්‍රාවක්, එරට අභ්‍යවකාශ වැඩසටහන් සඳහා ඉතා වැදගත් වේ.

Chinese Ship 16/08/22
ඡායාරූප ශීර්ෂ වැකිය, නෞකාව හම්බන්තොට වරායට පැමිණි අවස්ථාව

චීනයේ මිලිටරි නවීකරණය පිළිබඳ පෙන්ටගනයේ වාර්ෂික වාර්තාව පවසන්නේ යුවාන් වැන්ග් නැව් මෙහෙයවනු ලබන්නේ මහජන විමුක්ති හමුදාවේ (පීඑල්ඒ) උපායමාර්ගික ආධාරක බලකාය විසින් බවයි.

යුවාන් වැන්ග් 5 පර්යේෂණ සහ සමීක්ෂණ යාත්‍රාවක් ලෙස හැදින්වෙන, නමුත් ඉන්දියානු මාධ්‍ය එය හඳුන්වනු ලබන්නේ ඔත්තු බැලීමේ නෞකාවක් ලෙසටය.

යුවාන් වැන්ග් 5 අභ්‍යවකාශය සහ චන්ද්‍රිකා ලුහුබැඳීම සඳහා යොදා ගත හැකි අතර, අන්තර් මහද්වීපික බැලස්ටික් මිසයිල දියත් කිරීම් සඳහා ද විශේෂිත නෞකාවක් ලෙස සැලකෙයි.

2014 දී චීනයේ සබ්මැරීනයකට සහ යුද නැවකට කොළඹ නැංගුරම් ලෑමට ශ්‍රී ලංකාව ඉඩ දීම ඉන්දියාවේ දැඩි විරෝධයක් එල්ල වූ අතර රොයිටර් පුවත්සේවය පැවසුවේ මෙම සබ්මැරීනයට හා යුද නැවට කොළඹ වරයට ඇතුළුවීමට අවසර දීම හේතුවෙන් එවක ජනපති මහින්ද රාජපක්ෂට තම තෙවන ධුරකාලය සඳහා පැවැත්වූ මැතිවරණයන් පරාජය වීමට හේතුවූ බවයි.

මේ යාත්‍රාව යන්නේ කොහාටද?

යුආන් වැන්ග් 5 නෞකාව යාත්‍රාව පසුගිය ජුලී 13 වැනිදා චීනයේ ජියැන්ජින් වරායෙන් පිටත්ව ඇති අතර අද අගොස්තු 16 වැනිදා උදෑසන හම්බන්තොට පැමිණියේය.

ශ්‍රී ලංකා උපදේශන සමාගමක් වන Belt & Road Initiative Sri Lanka සඳහන් කළේ යුවාන් වැන්ග් 5 නෞකාව සතියක කාලයක් හම්බන්තොට නැංගුරම් ලා පවතින බවත් අගෝස්තු සහ සැප්තැම්බර් අතර ඉන්දීය සාගර කලාපයේ වයඹ දිග ප්‍රදේශයේ අභ්‍යවකාශ නිරීක්ෂණ, චන්ද්‍රිකා පාලනය සහ පර්යේෂණ සිදු කරන බවත්ය.

භූ දේශපාලනික අර්බුදය මැද ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට ඩෝනියර් ගුවන් යානයක්

කෙසේ හෝ උණුසුම් වූ භූ දේශපාලනික වාතාවරණය මධ්‍යයේ ඉන්දියාවේ නිෂ්පාදිත ඩෝනියර් 228 වර්ගයේ සමුද්‍රිය නිරීක්ෂණ ගුවන් යානාවක් ශ්‍රී ලංකා ගුවන් හමුදාවට නොමිලයේ ලබාදීමට ඉන්දියාව පියවර ගෙන තිබේ.

ඒ ඉන්දීය නිදහස් දිනය යෙදුනු අගෝස්තු 15 වැනිදා (ඊයේ) මෙම ගුවන් යානය ශ්‍රී ලංකාව වෙත නිල වශයෙන් භාරදීමෙනි.

ඩෝනියර් ගුවන් යානය

ඡායාරූප මූලාශ්‍රය, Indian Navy

ඡායාරූප ශීර්ෂ වැකිය, ඩෝනියර් ගුවන් යානය

ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ඉන්දීය මහ කොමසාරිස් මහකොමසාරිස් ගෝපාල් බාග්ලේගේ ප්‍රධානත්වයෙන් එය පැවැත්විණි.

Skip X post
X අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බීබීසී නොවන වාර්තාවල වෙළෙඳ දැන්වීම් අඩංගු විය හැකිය

End of X post

ඉන්දියාවේ දී මාස 04ක විශේෂ පුහුණුව ලැබූ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ගුවන් නියමුවන්, නිරීක්ෂකයින්, ඉංජිනේරුවන් සහ තාක්ෂණ ශිල්පීන් ගෙන් සැදුම්ලත් 15 ක පමණ කණ්ඩායමක් විසින් ඉන්දීය රජයේ තාක්ෂණික කණ්ඩායමේ අධීක්ෂණය යටතේ ඩෝනියර් 228 ගුවන් යානාව , පියාසර කිරීම සහ නඩත්තු කටයුතු සිදුකරනු ඇතැයි ශ්‍රී ලංකා ගුවන් හමුදාව සඳහන් කළේය.

ගුවන් හමුදාව පැවසුවේ ශ්‍රී ලංකා ගුවන් සීමාව හා අනන්‍ය මුහුදු කලාපය තුළ ඩෝනියර් ගුවන් යානා ඵලදායි ලෙස යොදා ගනිමින් සමුද්‍ර හා වෙරළ නිරීක්ෂණ මෙහෙයුම්, සමුද්‍රීය දූෂණය නිරීක්ෂණය සහ පාලනය කිරීමේ කටයුතු පුළුල් කරමින් ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ දැක්ම වන ගුවන් බලය ඵලදායි ලෙස යෙදවීම තුළින් ජාතික ආරක්ෂාව සහතික කිරීමට කටයුතු කරනු ඇති බවයි.

ඩෝනියර් - 228 යනු කෙටි ගුවන් ධාවන පථයක් මත ගුවන්ගත කිරීම සහ ගොඩබ බෑම සඳහා වූ විශේෂිත වූ හැකියාවකින් යුත් ටර්බෝප්‍රෝප් (Turboprop) වර්ගයේ ද්විත්ව එන්ජින් (Twinengine) සහිත බහුකාර්ය සැහැල්ලු ප්‍රවාහන ගුවන් යානයක් (Multirole Light Transport Aircraft) වන අතර එය 1981 සිට ජර්මනිය තුළ නිෂ්පාදන කටයුතු සිදු කරන ලදී. ජර්මනියේ ඩෝනියර් GmbH සමාගම විසින් 1981-1998 කාල සීමාව තුල මෙම ගුවන් යානය 245 ක් පමණ නිපදවා ඇති අතර පසුව හින්දුස්ථාන් ගුවන්යානා සමාගම (Hindusthan Aeronautics Limited) 1993 සිට ඩෝනියර් GmbH බලපත්‍ර යටතේ මෙම ගුවන් යානා නිෂ්පාදනය කරනු ලබයි.