යුආන් වැන්ග් 5: හම්බන්තොටට එන ඉන්දියාව තැති ගත් චීන නෞකාව කුමක්ද ?

හම්බන්තොටට එන ඉන්දියාව තැති ගත් චීන නෞකාව කුමක්ද ?

ඡායාරූප මූලාශ්‍රය, Marine Trafic.com

ආන්දෝලනයට තුඩු දී ඇති චීන පර්යේෂණ නෞකාවක් වන 'යුවාන් වැන්ග් 5' නෞකාව හම්බන්තොට වරායට ළඟා වීම කල්දමන ලෙස ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යංශය දැනුම් දීමත් සමඟ ගැටලුව භූ දේශපානික අර්බුදයක් දක්වා වර්ධනය වෙමින් තිබේ.

ජාත්‍යන්තර සබඳතා පිළිබඳ විශේෂඥයින් පෙන්වා දෙන්නේ බලවත් කඳවුරු දෙකක් අතර ගැටලුවකට මැදිවූ ශ්‍රී ලංකාවට මෙම අර්බුදය හමුවේ තවත් ආර්ථික බලපෑමක් එල්ලවනු ඇති බවයි.

නෞකාව මේවන විටත් හම්බන්තොට දෙසට යාත්‍රා කරමින් ඇත.

එහෙත් පසුගිය සිකුරාදා (අගෝස්තු 5) ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යංශය කොළඹ පිහිටි චීන තානාපති කාර්යාලය හරහා විනයට දැනුම් දී ඇත්තේ යුආන් වැන්ග් 5 නෞකාව ඉන්ධන හා සේවාවන් ලබාගැනීමට හා නැවියන් ගේ සේවාමුර අලුත්කිරීමට හම්බන්තොට වරයට ඇතුළුවීමට ජූලි 12 වැනිදා ලබාදුන් අනුමැතිය නැවත සමාලෝචනය කරන තුරු කල් දමන ලෙසයි.

නෞකාව සම්බන්ධයෙන් ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් චීනය හා ශ්‍රී ලංකාව අතර රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡා තවදුරටත් පැවැත්වෙමින් තිබේ.

පවතින තත්ත්වය හමුවේ චීන තානාපති කාර්යාලයද ශ්‍රී ලංකාවේ ඉහළ බලධාරීන් සමඟ හදිසි සාකච්ඡාවක් ඉල්ලා ඇති බව ඉන්දීය මාධ්‍ය අනාවරණය කළේය.

නෞකාව සම්බන්ධයෙන් මතුව ඇති භූ දේශපාලනික අර්බුදයත් සමඟ කොළඹ චීන තානාපති කී සෙන්හොංග් ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමුවී සාකච්ඡා පවත්වා ඇති බව ද වාර්තා වෙයි.

චීනයේ 'යුවාන් වැන්ග් 5'අධි තාක්ෂණික පර්යේෂණ හා නිරීක්ෂණ නෞකාවට නැවත ඉන්ධන ඇතුලු සේවා ලබා ගැනීමේ පදනමින් අගෝස්තු 11 වැනි බ්‍රහස්පතින්දා හම්බන්තොට වරායට පිවිසීමට විදේශ කටයුතු අමාත්‍යංශය ජූලි 12 වැනිදා නිකුත් කළ ලිපියකින් ලිඛිත එකඟතාව පළ කර තිබුණි.

විදේශ කටයුතු අමාත්‍යාංශය චීන තානාපති කාර්යාලයට යැවූ ලිපියට අනුව චීනය මෙම නෞකාව පැමිණීම පිළිබඳව ශ්‍රී ලංකාව දැනුවත් කර ඇත්තේ ජුනි මස 28 වැනිදායි.

කොවිඩ් ව්‍යාප්තිය වැළැක්වීමේ ක්‍රියාමාර්ග අනුගමනය කිරීමට අමතරව ශ්‍රී ලංකා අනන්‍ය ආර්ථික කලාපයේ දී නෞකාව ඇති ස්ථානය හඳුනාගත හැකි පද්ධතිය ක්‍රියාත්මකව පවත්වාගෙන යාම සහ ශ්‍රී ලංකා මුහුදු සීමාවේ පර්යේෂණ හා නිරීක්ෂණ කටයුත්තක් නොකිරීම යන කොන්දේසි මත නෞකාවට අගෝස්තු 11 වැනිදා සිට අගෝස්තු 17 වැනිදා දක්වා මෙරට මුහුදේ රැඳී සිටීමට ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යංශය අනුමැතිය ලබාදී තිබුණි.

නමුත් මෙය ඔත්තු බැලීමේ නෞකාවක් ලෙස හා තම ජාතික ආරක්ෂාවට තර්ජනයක් බව පෙන්වා දෙමින් ඉන්දියාව මතුකළ විරෝධය සමඟ චීන නෞකාවේ පැමිණීම ආන්දෝලාත්මක තත්ත්වයකට පත්විය.

ආර්ථික බලපෑමක් එල්ල වෙයිද?

කොළඹ විශ්වවිද්‍යාලයයේ ජාත්‍යන්තර සබඳතා දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, ආචාර්ය හසිත් කන්දඋඩහේවා පවසන්නේ, මෙම අර්බුදය හමුවේ ශ්‍රී ලංකාවට විශාල ආර්ථික බලපෑමක් එල්ල වනු ඇති බවයි.

මෙරට යටිතල පහසුකම් ව්‍යාපෘති රැසක් සඳහා ආයෝජනය කර ඇති හා ඉදිරියටත් කිරිමට් නියමිත චීනය ශ්‍රී ලංකාවේ ප්‍රධාන ණය හිමියෙකු ලෙස සැලකෙයි. චීනය මෙරටට ලබා දී ඇති ණය ප්‍රතිව්‍යුහගත කිරීම, මෙරටේ ජාත්‍යන්තර ණය ප්‍රතිව්‍යුහගත කරීමේ ක්‍රියාවලියට මෙම ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ පවත්වන සාකච්ඡාවල සාර්ථකත්වයට ප්‍රධාන සාධකයක්වනු ඇත.

ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ණය පහසුකමක් ලබා ගැනීම සඳහා ණය ප්‍රතිව්‍යුගතකරණ වැඩසටහනට සහාය දැක්වීමට චීනය මීට පෙර එකඟ විය.

ආචාර්ය හසිත් කන්දඋඩහේවා කියා සිටියේ පවතින තත්ත්වය හමුවේ ණය ප්‍රතිව්‍යුගතකරණ වැඩසටහනට චීනය එකඟ නොවීමට ඉඩ ඇති බවයි.

ආචාර්ය කන්දඋඩහේවා පවසා සිටියේ මෙම තත්ත්වය හමුවේ චීන නෞකාවේ පැමිණිම නතර කළ හොත් එය එක්තරා ලෙසකට ඉන්දියාවේ ජයග්‍රහණයක් වනු ඇති බවයි.

"මෙය කලාපය තුළ ඉන්දියාවේ බලය පෙන්වීමක්. එතකොට සමහර විට චීනය නිසා IMF එකට යන්න බැරිවුණත් ඉන්දියාව තව ටික කාලයක් කෙටි කාලීනව ක්‍රෙඩිට් ලයින් එකක් දෙයි අපිට. ධානාත්මක පැත්තක් තියෙනවා. නමුත් දීර්ඝ කාලීනව සෘණාත්මක පැත්තක් තමා මම දකින්නේ."

ඔහු පෙන්වා දුන්නේ "ඉන්දියාව කෙටිකාලීනව උදව් කරයි. ඉන්දියාව දන්නවා ලංකාව අසීරු වෙලාවක අපි ඉන්දියාවේ පැත්ත ගත්තා කියලා. මේ නැවැත්වීම හරහා ඉන්දියාවට හැකියාව ලැබෙනවා දකුණු ආසියාව ආශ්‍රිත ඉන්දියානු සාගර කලාපයේ "නෙට් සිකියුරිටි ප්‍රවයිඩර්" විදිහට ඉන්න."

"ඒ හින්දා ඉන්දියාව කෙටි කාලීනව පොඩි කාලයක් යනකන් අපිට සහයෝගය දෙයි. දීර්ඝ කාලීනව අපිට IMF එකට යන්න බැරිවුණොත් ඒක ඉතින් ලොකුවට ආර්ථික වශයෙන් විශාල බලපෑමක් එල්ල වෙනවා" ඔහු අවධාරණය කළේය.

"අපිට ගැලවෙන්න අමාරුයි"

චීනය හා ඉන්දියාව යන රටවල් දෙකම න්‍යෂ්ටික ශක්තියෙන් සමන්විත ලොව බලවත් රාජ්‍යයන් දෙකකි.

විවෘත විශ්ව විද්‍යාලයේ නීති අධ්‍යයන අංශයේ කථිකාචාර්ය රමිඳු පෙරේරා රූපවාහිනී සාකච්ඡාවකට එක්වෙමින් පැවසුවේ ශ්‍රී ලංකාවට මෙම අර්බුදයෙන් ගැලවීම අපහසු බවයි.

"මේ නැව කියන්නේ හුදෙක් ප්‍රකාශනයක් විතරයි;මෙතන තියෙන්නේ බලවත් කඳවුරු දෙකක් අතර ගැටුමක්. ඒ ගැටුමට මැදි වෙච්ච රටක ඉරණම මේ තියෙන්නේ." ඔහු පෙන්වා දුන්නේය.

ඔහු අවධාරණය කළේ "මේ භූ දේශපාලන ගැටුම කියන එක අපිට දුරින් තියෙන, හුදෙක් නැවක් පිළිබඳ ප්‍රශ්නයක් නොවෙයි. අපි තෙල් ගහන එකේ ඉදලා හිතුවොත්, ආර්ථික ප්‍රශ්න පැත්තෙන් හිතුවත්, මේ ගැටුම ඇත්තටම අපිට බලපාන ගැටුමක්. ඒ හින්දා මේක අපිට අදාළ නැති ගැටුමක්, මේකෙන් අපේ එදිනෙදා ජීවිතයට කිසිම බලපෑමක් වෙන්නේ නැහැ කියල හිතන එක තාර්කික නැහැ. මේකේ අදාළත්වය ඒ විදිහට තියනවා. මේකෙන් අපිට ගැලවෙන්න අමාරුයි."

ඉන්දියාවේ දැඩි අවධානයට හා කනස්සල්ලට

අභ්‍යවකාශය සහ චන්ද්‍රිකා ලුහුබැඳීමේ තාක්ෂණයෙන් සමන්විත 'යුවාන් වැන්ග් 5' පර්යේෂණ හා සමීක්ෂණ යාත්‍රාව ඉන්දීය මාධ්‍ය විසින් හඳුන්වා තිබුණේ ඔත්තු බැලීමේ චීන නෞකාවක් ලෙසය.

නෞකාවේ ගුවන් ප්‍රවේශය කිලෝමීටර 750කට වඩා වැඩි වන අතර ඉන් වක්‍රව අදහස් වන්නේ දකුණු ඉන්දියාවේ කල්පක්කම්, කූඩන්කුලම් වැනි ඉන්දීය දේශසීමා තුළ ඇති පරමාණුක පර්යේෂණ මධ්‍යස්ථානය නිරීක්ෂණය කළ හැකි බවද ඉන්දීය මාධ්‍ය අනාවරණය කළේය.

නෞකාවට කේරළ, තමිල්නාඩු සහ ආන්ද්‍ර ප්‍රදේශ් යන වරායන් ද නිරීක්ෂණය කළ හැකි බවත් දකුණු ඉන්දීය වරායන් 6 ක් පමණ චීනයේ අවධානයට ලක් වනු ඇති අතර, දකුණු ඉන්දියාව ආශ්‍රිතව ඇති වැදගත් මර්මස්ථානයන් පිළිබඳ තොරතුරු මෙම නෞකාවට රැස්කර ගත හැකි බවද ඉන්දීය මාධ්‍ය පැවසීය.

මෙම නෞකාව පිළිබඳ පසුගිය දෙසතිය මුල සිට නවදිල්ලියේ අවධානයට ලක්වූ අතර, ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශක අරින්දම් බග්චි සතිපතා මාධ්‍ය හමුවට එක්වෙමින් පැවසුවේ, ඉන්දියාව "තම ආරක්ෂාවට හා ආර්ථික අභිලාශයන්ට බලපාන ඕනෑම වර්ධනයක් ප්‍රවේශමෙන් නිරීක්ෂණය කරන බවයි".

මේ අතර, "අදාළ පාර්ශ්වයන්" තම "නීත්‍යානුකූල නාවික කටයුතුවලට" මැදිහත් වීමෙන් වැළකී සිටිනු ඇතැයි අපේක්ෂා කරන බව චීනය ප්‍රකාශ කළ බව රොයිටර් පුවත් සේවය වාර්තා කළේය.

චීනය විසින් ඉදිකරන ලද සහ චීනයට බදු දී ඇති හම්බන්තොට වරාය චීනය විසින් ඉන්දියාවට සමීප හමුදා කඳවුරක් ලෙස භාවිතා කරනු ඇතැයි ඉන්දියාව කනස්සල්ලට පත්ව සිටියි.

ඩොලර් බිලියන 1.5 ක වටිනාකමින් යුත් හම්බන්තොට වරාය ආසියාවේ සිට යුරෝපයට යන ප්‍රධාන නැව් මාර්ගයට ආසන්නවම පිහිටි වරායකි.

'යුආන් වැන්ග් 5' නෞකාව හම්බන්තොට වරයාට පැමිණෙන්නේ ශ්‍රී ලංකාව දරුණුතම ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටින අවස්ථාවකය.

'යුවාන් වැන්ග් 5' නෞකාවේ හම්බන්තොට සංචාරයට එරෙහිව ඉන්දියාව ශ්‍රී ලංකා රජයට විරෝධයක් ඉදිරිපත් කර ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළේය.

රොයිටර් පුවත් සේවයේ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් චීනයේ විදේශ අමාත්‍යාංශය පැවසුවේ චීනය සෑම විටම මහ මුහුදේ නිදහස නීත්‍යානුකූලව භාවිත කළ බවයි.

"අදාළ පාර්ශ්වයන් චීනයේ සමුද්‍ර විද්‍යාත්මක පර්යේෂණ ක්‍රියාකාරකම් නිවැරදිව නිරීක්ෂණය කර වාර්තා කරනු ඇතැයි චීනය බලාපොරොත්තු වන අතර සාමාන්‍ය හා නීත්‍යානුකූල සමුද්‍ර ක්‍රියාකාරකම්වලට මැදිහත් වීමෙන් වළකින්න" යනුවෙන් අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.

ජ්‍යෙෂ්ඨ ආරක්ෂක විශ්ලේෂකයකු පැවසුවේ, මෙම නෞකාව සම්බන්ධයෙන් ඉන්දියාව අනියත කළබලයක් ඇතිකර ගෙන ඇති බවයි.

ශ්‍රී ලංකා ආරක්ෂක අමාත්‍යංශයේ ප්‍රකාශක කර්නල් නලින් හෙරත් පැවසුවේ යුආන් වැන්ග් 5 නෞකාවට හම්බන්තොට වරයාට ඇතුලු වීම සඳහා ඉන්ධන වැනි සේවා පහසුකම් ලබා ගැනීම සඳහා නෞකාව අනුමැතිය ලබා දී ඇති බවයි.

"මෙය පළමුවරට පැමිණෙන නෞකාවක් නොවේ. චීනය, ඉන්දියාව, දකුණු කොරියාව, රුසියාව, අමෙරිකාව, ජපානය, ඔස්ට්‍රේලියාව වගේ රටවල් වලින් මීට පෙරත් නෞකා ආවා. වාණිජ නෞකා වගේ නාවික හමුදා නෞකා පැමිණෙනවා." ඔහු පැවසීය.

"චීනයෙන් පළමු වරට එනවා නෙමේ. චීනයෙන් මෙවරත් ඉල්ලීමක් කරලා තිබ්බා. සාමාන්‍යයෙන් ආරක්ෂක අමාත්‍යංශයෙන් අපි කරන්නේ තත්ත්වය තක්සේරු කරලා අනුමැතිය දෙන එක. ඇසස්මන්ට් එකක් කරලා තමා අනුමැතිය දීලා තියෙන්නේ." ඔහු ප්‍රකාශ කළේය.

Skip X post, 1
X අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බීබීසී නොවන වාර්තාවල වෙළෙඳ දැන්වීම් අඩංගු විය හැකිය

End of X post, 1

මොකද්ද මේ යුආන් වැන්ග් 5 නෞකාව?

යුආන් වැන්ග් 5 නෞකාව YUAN WANG 5 (IMO: 9413054) නෞකාව යනු 2007 (වසර 15 කට පෙර) ඉදිකරන ලද සහ චීනයේ ධජය යටතේ යාත්‍රා කරන පර්යේෂණ/සමීක්ෂණ යාත්‍රාවකි.

එහි රැගෙන යා හැකි ධාරිතාව ටොන් 11000 වන අතර නෞකාවේ සමස්ත දිග මීටර් 222 ක් වන අතර පළල මීටර් 25.2 කි.

යුවාන් වැන්ග් 5 යනු යුවාන් වැන්ග් ශ්‍රේණියේ තුන්වන පරම්පරාවේ ලුහුබැඳීමේ නෞකාව වන අතර ජියැන්ග්නන් නැව් තටාකාංගනය විසින් නිර්මාණය කරන ලද්දකි.

චීනයේ අභ්‍යවකාශ යානා ලුහුබැඳීමේ නෞකාව Yuan wang-5, එරටේ Long March-5B රොකට්ටුව දියත් කිරීම සඳහා සමුද්‍රීය ලුහුබැඳීම් සහ මිනුම් මෙහෙයුම සඳහා යොදාගනී.

2000 දශකයේ මුල් භාගයේ සිට චීනය ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයට සාමාජික රාජ්‍යයක් ලෙස සම්බන්ධ වීමට උනන්දු වූ නමුත් බොහෝ වාරයක් චීනයේ සාමාජිකත්වය ප්‍රතික්ෂේප කරන ලදී. එවන් පසුබිමක යුවාන් වැන්ග් 5 වැනි ලුහුබැඳීමේ විද්‍යාත්මක පර්යේෂණ යාත්‍රාවක්, එරට අභ්‍යවකාශ වැඩසටහන් සඳහා ඉතා වැදගත් වේ.

චීනයේ මිලිටරි නවීකරණය පිළිබඳ පෙන්ටගනයේ වාර්ෂික වාර්තාව පවසන්නේ යුවාන් වැන්ග් නැව් මෙහෙයවනු ලබන්නේ මහජන විමුක්ති හමුදාවේ (පීඑල්ඒ) උපායමාර්ගික ආධාරක බලකාය විසින් බවයි.

මේ යාත්‍රාව යන්නේ කොහාටද?

යුආන් වැන්ග් 5 නෞකාව යාත්‍රාව පසුගිය ජුලී 13 වැනිදා චීනයේ ජියැන්ජින් වරායෙන් පිටත්ව ඇති අතර අගොස්තු 11 වැනිදා එය හම්බන්තොට ළඟා වීමට නියමිතය.

මෙවැනි නෞකාව පැමිණීම අසාමාන්‍ය දෙයක් නොවන බව කර්නල් නලීන් හෙරත් පැවසීය.

ශ්‍රී ලංකා උපදේශන සමාගමක් වන Belt & Road Initiative Sri Lanka සඳහන් කළේ යුවාන් වැන්ග් 5 නෞකාව සතියක කාලයක් හම්බන්තොට නැංගුරම් ලා පවතින බවත් අගෝස්තු සහ සැප්තැම්බර් අතර ඉන්දීය සාගර කලාපයේ වයඹ දිග ප්‍රදේශයේ අභ්‍යවකාශ නිරීක්ෂණ, චන්ද්‍රිකා පාලනය සහ පර්යේෂණ සිදු කරන බවත්ය.

2014 දී චීනයේ සබ්මැරීනයකට සහ යුද නැවකට කොළඹ නැංගුරම් ලෑමට ශ්‍රී ලංකාව ඉඩ දීම ඉන්දියාවේ දැඩි විරෝධයක් එල්ල වූ අතර රොයිටර් පුවත්සේවය පැවසුවේ මෙම සබ්මැරීනයට හා යුද නැවට කොළඹ වරයට ඇතුළුවීමට අවසර දීම හේතුවෙන් එවක ජනපති මහින්ද රාජපක්ෂට තම තෙවන ධුරකාලය සඳහා පැවැත්වූ මැතිවරණයන් පරාජය වීමට හේතුවූ බවයි.

කලාපය තුළ යළි නොසන්සුන්තාවක්

මේ අතර දෙමළ ජාතක සන්ධානය ටුවිටර් පණිවිඩයක් නිකුත් කරමින් කියා සිටියේ චීන අභ්‍යවකාශ යාත්‍රා ලුහුබැඳීමේ නෞකාවක් වන යුආන් වැන්ග් 5 නෞකාව අගෝස්තු 11 වන දින හම්බන්තොට වරායට ඇතුලුවීම කලාපය තුළ යළිත් නොසන්සුන්තාවයක් ඇති කර තිබෙන බවයි.

Skip X post, 2
X අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බීබීසී නොවන වාර්තාවල වෙළෙඳ දැන්වීම් අඩංගු විය හැකිය

End of X post, 2

"වෙනත් රටවල් අතර බල අරගල සම්බන්ධයෙන් අපි පැත්තක් ගන්නේ නැහැ." දෙමළ ජාතක සන්ධානය අවධාරණය කළේය.

එහෙත් ඉන්දීය සාගරයේ චීන හමුදා රැඳී සිටීම ඉන්දියාවට නීත්‍යානුකූල ආරක්ෂක සැලකිල්ලක් ලබා දෙන බවත් දෙමළ ජාතික සන්ධානය පෙන්වා දෙයි.

ශ්‍රී ලංකාව තුළ චීන හමුදාවලට රැඳ සිටීමට ඉඩ ලබා දීමෙන් ශ්‍රී ලංකාව එය අවධාරණය නොකළ යුතු බව තමන් නිරන්තරයෙන් ප්‍රකාශ කර ඇතැයි ද දෙමළ ජාතික සන්ධානය අවධාරණය කළේය.

චීනයේ ප්‍රකෝපකාරී ක්‍රියාවක්

කොළඹ විශ්වවිද්‍යාලයයේ ජාත්‍යන්තර සම්බන්ධතා අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, ආචාර්ය හසිත කන්දඋඩහේවා කියා සිටියේ මේ අවස්ථාවේදී චීනය කරනු ලබන්නේ ඉන්දියාව ප්‍රකෝප කිරීමක් බව තම අදහස බවයි. පසුගිය මාස 06 තුළ ඉන්දියාව ශ්‍රී ලංකාවට මානූෂවාදී ආධාර හා ණය පහසුකම් විශාල ප්‍රමාණයක් ලබා දී ඇත. එය ඩොලර් බිලියන 04කට ආසන්නය.

"මේක හරහා ඉන්දියාවට හැකියාව ලැබුණා ශ්‍රී ලංකාව තුළ ඉන්දියාව ගැන ප්‍රසාදය වර්ධනය කර ගන්න. 'ෆස්ට් රෙස්පොන්ඩර්' (පළමු ප්‍රතිචාර දක්වන්නා) කියන සංකල්පය ස්ථාපිත කරන්න. කලාපීය බලවතෙකු ලෙස පිළිගන්න සාධකයක් තමා කලාපීය ගැටලුවකදී පළමුව මැදිහත්වී ප්‍රතිචාර දක්වීම. ඉන්දියාව එලෙස මැදිහත් වුණා. පසුගිය කාල සීමාව තුළ චීනය සාධණීය දායකත්වයක් දැක්වුයේ නැහැ ලංකාවට. මේ තත්ත්වය තුළ චීනයට ඕන වුණා වෙන්න පුළුවන් ඔවුන්ගේ බලය පෙන්වන්න. එක තමා මේ යාත්‍රාව ඩොක් කරන්නේ. 2014 වර්ෂයේ සැප්තැම්බර් 16 චීන සබ්මැරීනයක් මෙරටට පැමිණීමෙන් පස්සේ පළමු වතාවට තමා චීනයේ මෙවැනි යාත්‍රාවක් ලංකාවට පැමිණෙන්නේ" ආචාර්ය කන්දඋඩහේවා සඳහන් කළේය.

ඔහු කියා සිටියේ "මේකෙන් වෙන්නේ ලංකාවට දෙපැත්තටම බැහැ කියන්න බැරි වෙන එක. එක පැත්තකින් අපිට චීනය ඕනේ IMF ණය ලබා ගැනීම සඳහා ණය ප්‍රතිව්‍යුගතකරණය කරන්න. අනික් පැත්තෙන් ඉන්දියාව ඕනේ මිනිස්සුන්ට කන්න බොන්න දෙන්න. ඉන්දියාව කැමති වෙන්නේ නැහැ නේ චීන නැවක් මෙතනට පැමිණෙනවාට. ඉන්දියාවේ නැගෙනහිර නාවික විධානය දැනටමත් අවදානයෙන් ඉන්නේ."

"අපි දන්නේ නැහැ මේ නැව ඇයි එන්නේ ඇයි කියලා. ඒ පිළිබඳවත් ගැටලුවක් තියෙනවා නේ. සාමාන්‍ය සම්ප්‍රදාය තමා ලෝකයේ තියෙන අතිශය රහසිගත නැව් හැරෙන්න, එහෙම නැත්නම් ඒ නැව්වල තියෙන අවි ආයුධ හැරෙන්න සාමාන්‍යයෙන් ඒ නැව ගැන විස්තරයක් තියෙනවා. නමුත් චීනයේ නෞකාවවල එවැනි ලොකු විස්තරයක් දකින්න ලැබෙන්නේ නැහැ." ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයා පෙන්වා දුන්නේය.

"යුආන් වැන්ග් 5 නෞකාව කියන්නේ අභ්‍යවකාශය ලුහුබැඳිය හැකි, ඇන්ටි බැලැස්ටික් මොනිටරින් සිස්ටම් එකකුත් තියෙන නෞකාවක්. මේක තනිකර බලය පෙන්වීමක්." ඔහු වැඩිදුරටත් පැවසීය.