'මාධ්‍යවේදීන්ට පහරදීමට ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රොමේෂ් ලියනගේ වගකිව යුතුයි' - මානව හිමිකම් කොමිසම

සිරස මාධ්‍ය ජාලයේ නිව්ස් ෆස්ට් ඇතුළු මාධ්‍යවේදින්ට පහරදිමේ සිද්ධියට සම්බන්ධ විමර්ශන අවසන් වන තුරු පොලිස් විශේෂ කාර්යය බලකායේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රොමේෂ් ලියනගේ ට කොළඹින් පිටතට මාරු වීමක් ලබා දෙන ලෙස ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම පොලිස්පතිවරයාට නිර්දේශ කර තිබේ.
කොමිසමේ සභාපති විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු රෝහිණී මාරසිංහ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ, අදාළ නියෝග වහාම ක්‍රියාත්මක කිරීම සඳහා පොලිස්පතිවරයා දැනුවත් කර ඇති බවයි.
දැනට මෙම පහරදිමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් විශේෂ විමර්ශන එකකය විමර්ශන ක්‍රියාත්මක කරමින් ඇත.
මානව හිමිකම් කොමිසමේ සභාපතිවරිය අවධාරණය කරන්නේ එම විමර්ශන ස්වාධීන හා අපක්ෂපාති විය යුතු බවයි.

එවැනි විමර්ශනයකට සහයක් ලෙස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රොමේෂ් ලියනගේ හට කොළඹින් පිට විශේෂ කාර්ය බලකායේ වෙනත් කඳවුරකට මාරුවක් ලබා දෙන ලෙස කොමිසම පොලිස්පතිවරයාට නිර්දේශ කර තිබේ.
ශ්‍රී ලංකා මානව හිමිකම් කොම්සම සඳහන් කළේ, සිරස නිව්ස් ෆස්ට් ඇතුළු මාධ්‍යවේදීන්ට පහරදිමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් විශේෂ කාර්ය බලකායේ අණදෙන නිලධාරි නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රෝමේෂ් ලියනගේ සහ පොලිස් විශේෂ විමර්ශන එකකයේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඩි.එස්. වික්‍රමසිංහ යන නිලධාරීන් කොමිසම හමුවට කැඳවූ බවයි.
එහිදි අනාවරණය වි ඇත්තේ වත්මන් ජනාධිපතිවරයාගේ පෞද්ගලික නිවස ආසන්නයේ ආරක්ෂාව සඳහා යොදා සිටි කණ්ඩායමේ අණ දෙන්නා ලෙසට ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රොමේෂ් ලියනගේ කටයුතු කර ඇති බවයි.
ඔහුගේ අණදීම යටතේ පොලිස් විශේෂ කාර්ය බලකා සාමාජිකයින් 140 දෙනකු එම ස්ථානයට යොදවා තිබේ.
ශ්‍රී ලංකා මානව හිමිකම් කොම්සම අවධාරණය කරන්නේ එම දිනයේදි මාධ්‍යවේදින්ගෙන් පොලිසියට කිසිදු තර්ජනයක් නොතිබූ බවට කිසිදු සැකයක් නොමැති බවයි.
එවන් පසුබිමක් තුළ මාධ්‍යවේදීන් බවට පොලිසිය හා පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් හඳුනාගෙන තිබියදී මාධ්‍යයට මෙලෙස පහරදීම චේතනාන්විතව සිදුව ඇති බවත් එය කිසිසේත්ම සාධාරණීකරණය කළ නොහැකි බවත් කොමිසමේ මතය වී තිබේ.
පොලිස් විශේෂ කාර්ය බලකා සාමාජිකයින් මාධ්‍යට පහර දී ඇත්තේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රොමේෂ් ලියනගේ ගේ සෘජු විධානය යටතේ බව මානව හිමිකම් කොමිසමේ සභාපති විනිසුරු රෝහිණී මාරසිංහ අවධාරණය කළා ය.
පහර දෙන අවස්ථාවේ තමා එම ස්ථානයේ සිටි බව ඔහු විසින් ප්‍රතික්ෂේප කර ඇති බවත් මාධ්‍යවේදින්ට පහර දුන් බවට තමා කිසිසේත්ම දැන නොසිටි බවත් රොමේෂ් ලියනගේ කොමිසමට පවසා තිබේ.
අදාළ පහරදීමේ සිදුවීමට අදාළ විඩියෝ දර්ශන මානව හිමිකම් කොමිසම ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාට පෙන්වා තිබේ.
එබැවින් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම හමුවේ දිවුරුම් මත ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රොමේෂ් ලියනගේ කොමිසම හමුවේ ලබා දුන් සාක්ෂි පිළිබඳ බරපතළ සැකයක් ඇතැයි මානව හිමිකම් කොමිසම අවධාරණය කළේ ය.
ජූලි 9 වන දින මාධ්‍යට පහරදීමට ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රොමේෂ් ලියනගේ වගකිව යුතු බවට කිසිඳු සැකයක් නැතැයි ද මානව හිමිකම් කොමිසම විසින් අවධාරණය කරනු ලැබීය.
මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.
End of X post
කොමිසම අවධාරණය කළේ මෙය ජනතාවගේ මූලික අයිතීන් බරපතළ ලෙස උල්ලංඝණය කිරීමක් බවයි.
නිදහස් මාධ්‍ය ඕනෑම ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක අභ්‍යන්තර කොටසක් බව ද මානව හිමිකම් කොමිසම අවධාරණය කර තිබේ.
මෙය නීතිය සහ සාමය ආරක්ෂා කරන උසස් නිලධාරීයෙකුගේ වගකීම් විරහිත හැසිරීමක් බවත්, මෙය සමාජයේ ආරක්ෂාවට දරුණු හා බරපතළ තත්ත්වයත් බවත් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම අවධාරණය කරයි.
නිවුස් ෆස්ට් මාධ්‍යවේදීන්ට පහරදීම සම්බන්ධයෙන් විනය විමර්ශන සිදුකරනු ලබන නිලධාරීයා මානව හිමිකම් කොමිසමට පවසා ඇත්තේ පහරදුන් පුද්ගලයින් මෙතෙක් හඳුනාගෙන නොමැති බවයි.
නිල ඇඳුමෙන් සිට පහරදුන් පුද්ගලයින් හඳුනා ගැනීම පහසු නොවන බව ද ඔහු කොමිසම හමුවේ දක්වා තිබේ.
එබැවින්, පහරදුන් පුද්ගලයින් හඳුනා නොගැනීම පොලිස් විමර්ශන සඳහා ඇති පසුබෑමක් බව මානව හිමිකම් කොමිසම පෙන්වා දෙයි.
ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම පොලිස්පතිවරයාට නිර්දේශ කර ඇත්තේ , සිවිල් මෙහෙයුම් සඳහා කැළෑ ඇඳුම් වැනි (කැමෆ්ලාජ්) වැනි නිල ඇඳුම් සුදුසු නොවන බවයි.
එම නිසා සිවිල් මෙහෙයුම් සඳහා පොලිස් විශේෂ කාර්ය බලකාය අඳින නිල ඇඳුම පිළිබඳව පොලිස්පතිවරයා සැලකිල්ල යොමුකළ යුතු බවත්, සිවිල් රාජකාරී සඳහා යෙදවීමේදී සුදුසු නිල ඇඳුමක් ලබා දීම සම්බන්ධයෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙසත් මානව හිමිකම් කොමිසම පොලිස්පතිවරයාට නිර්දේශ කර තිබේ.













