ජන අරගලය ; පොදුජන යහපත වෙනුවෙන් ඕනෑම පරිත්‍යාගයක් කරන්න සුදානම් බව අගමැති කියයි

වීඩියෝ ශීර්ෂ වැකිය, ජන අරගලය ; පොදුජන යහපත වෙනුවෙන් ඕනෑම පරිත්‍යාගයක් කරන්න සුදානම් බව අගමැති කියයි

පොදුජන යහපත වෙනුවෙන් ඕනෑම පරිත්‍යාගයක් කරන්න තමන් සුදානම් බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ අද (මැයි 09) අරලියගහ මන්දිරයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පළාත් පාලන නියෝජිතයන්, හිටපු මැතිඇමතිවරු හා ආධාරකරුවන් පිරිසක් හමුවූ අවස්ථාවේදී පැවසුවේය.

ජනාධිපතිවරයා සහ අගමැතිවරයා ඇතුළු කැබිනට් මණ්ඩලය ඉවත් වී සුදුසු පිරිසකට රට පාලනයට අවස්ථාව ලබා දියයුතු බවට රට පුරා විරෝධතා පැවැත්වෙන පසුබිමක ඉවත් නොවන ලෙස අගමැතිවරයාගෙන් ඉල්ලා සිටීමට මෙම පිරිස අරලියහග මැදුරට පැමිණියහ.

පසුව එම පිරිස අරලියහග මැදුර ඉදිරිපිට 'මයිනා ගෝ ගම' විරෝධතාභුමියට ගොස් විරෝධතාවයේ නිරත පිරිස පළවා හරින ලදී. එම අවස්ථාවේදී විරෝධතාකරුවන්ගේ අට්ටලවලට ද පහරදී විනාශ කරන ලදී.

පසුව මහින්ද රාජපක්ෂට සහය පළ කිරීමට පැමිණි පිරිස ගාලු මුවදොරට ගොස් 'ගෝටා ගෝ ගම' අරගල භුමියේ සිටි පිරිස පහරදී පළවා හැර ඔවුන්ගේ කුඩාරම් සහ අට්ටාල ද විනාශ කරන ලදී.

එම තත්ත්වය පාලනය කිරීමට පොලිසිය කඳුළු ගෑස් හා ජල ප්‍රහාරයක් එල්ල කරන ලදී.