රාජපක්ෂවරු නැති ආණ්ඩුවකට නායකත්වය දීමට සුදානම් බව පාඨලී චම්පික කියයි

රට මුහුණදී අර්බුදයෙන් ගොඩ ගැනීම සඳහා රාජපක්ෂවරු නැති ආණ්ඩුවකට නායකත්වය දීමට තමන් සුදානම් බව පාඨලී චම්පික රණවක පවසයි.

'ගෝඨා ගෙදර යනු, 20 අහෝසි කරනු, පාර්ලිමේන්තුවට බලය පවරනු' යන තේමාව යටතේ 43 සේනාංකය විසින් අප්‍රේල් 07 වැනිදා කොළඹ පැවැත්වූ විරෝධතාවයකදී ඔහු මේ බව කියා සිටියේය.

''අපි යෝජනා කරන්නේ පක්ෂ,විපක්ෂ දෙකේම අධීක්ෂණ කමිටු පිහිටුවලා අමාත්‍යංශ 16කට ඒ අයව බෙදලා රාජපක්ෂලාව එළියෙන් තියලා මේ රට අපි කරගෙන යමු. ඒ සඳහා එකතු වෙන්න කියලා සියලු පක්ෂවල නායකයන්ගෙන් අපි ඉල්ලනවා.'' යනුවෙන් සඳහන් කළ ඔහු වැඩිදුරටත් පැවසුවේ රාජපක්ෂ පවුලේ වත්කම් බොහොමයක් ඇමරිකාවේ ඇති බැවින් ඒ ගැන පරීක්ෂණයක් කරන ලෙස ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති කාර්යාලයෙන් ඉල්ලා සිටින බවයි.