ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
“කෑම වර්ගයක් හැදුව පළියට පේටන්ට් හම්බවෙන්නේ නැහැ” - බුද්ධිමය දේපළ කාර්යාලය
කොත්තු අද බොහෝ දෙනා අතර ජනප්‍රිය, වයස් භේදයකින් තොරව බොහෝ දෙනා ප්‍රිය කරන ආහාරයකි.
කොත්තුවට අයිතිය කියාපාමින් ශ්‍රී ලංකාවට පේටන්ට් අයිතිය ගත හැකිදැ යි කතාබහක් පසුගිය දා මතුවන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තවේ දී ප්‍රකාශයක් කිරීම හේතුවෙනි.
"අපි හැමදෙනාම පීසා හට් කියලා ගිහිල්ලා පීසා කඩෙන් පීසා ගත්තාට, ඒකේ පේටන්ට් අයිතිය තියෙන්නේ ඉතාලියට."
"නමුත් අද අපේ රටේ අපි නිර්මාණය කරපු ආහාර දාමයක් තියෙනවා, 'කොත්තු' කියලා. මේක ඉතා වැදගත් කාරණයක්. ලෝකේ කවදා හරි අපි පීසා කනවා වගේ, විවිධාංගීකරණය වූ ආහාරයක් ලෙස මෙය යන්න පුළුවන්. අපේ රටේ මඩකළපුවෙන් තමයි මේක ආරම්භ වුණා කියලා පිළිගන්නේ," මාර්තු 08 වැනිදා පාර්ලිමේන්තුවේ පැවැති බුද්ධිමය දේපොළ සංශෝධන පනත් කෙටුම්පත දෙවනවර කියවීමේ විවාදයට එක්වෙමින් මන්ත්‍රීවරයා පැවසීය.
ඔහු පවසා සිටියේ අද වනතෙක් කිසිවෙකුත් කොත්තු සඳහා පේටන්ට් අයිතිය ලබාගෙන නොමැති බව යි.
"අපේ කොත්තු සඳහා පේටන්ට් බලපත්‍රය තවමත් කිසිවෙක් ගෙන නැහැ. අපි හදපු කෑම වේලකට එම බලපත්‍රය ගන්නට බැරි ඇයි? අද කිසි විටෙක නීති දමා තොරතුරු වහන්නට හැකියාවක් නැහැ."
"අද අපේ විවිධ වර්ගයේ කොත්තු තියෙනවා. විවිධ වර්ගයේ මේකට එකතු කිරීම් අඩු කිරීම් කරලා තියෙනවා. ලෝකේ දියුණු රටවලත් මේක තියෙනවා. මේකේ පේටන්ට් අයිතිය ලංකාවටත් නැහැ, වෙන රටකටත් තියෙනවා ද කියලා මම දන්නේ නැහැ. අපිට එහෙම නීතියකුත් නැහැ, ජාත්‍යන්තර වශයෙන් මේක ලබාගන්නේ කොහොමද කියලා," මහාචාර්ය හේරත් ප්‍රකාශ කළේ ය.
"අපේ රටේ වට්ටෝරුවකට, අපි හදපු කෑම වේලකට, මඩකළපුවෙන් ආරම්භ වෙච්ච මේ කෑම වේල, අයිස්ක්‍රීම් කොත්තුව දක්වා වර්ධනය වෙලා තියෙනවා. ඒක වෙනස් වූ ආහාර දාමයක් බවට පත්වෙලා තියෙනවා. හැබැයි මේකේ පේටන්ට් අයිතිය, පීසාවල පේටන්ට් අයිතිය ඉතාලියට තිබුණාට, හැම්බර්ගර්වල පේටන්ට් අයිතිය අමෙරිකාවට තිබුණාට මේකේ පේටන්ට් අයිතිය අපිට නැහැ. එහෙම නැතිවෙලා තියෙන්නේ මේක සම්බන්ධව පුළුල් සංවාදයක් අපේ රටේ නැති නිස යි," මහචාර්ය හේරත් පවසා සිටියේ ය.
කොත්තු
කොත්තු, නූතනයේ ශ්‍රී ලාංකික ආහාර අතර ජනප්‍රිය කෑමකි. 1970 දශකයේ දී ශ්‍රී ලාංකික දෙමළ ආහාර සංස්කෘතිය තුළින් කොත්තු ශ්‍රී ලාංකික සමාජයට එක්වන්නට ඇතැ යි සැලකේ.
මේ ආහාරය ඕනෑම අවශ්‍යතාවකට ගැළපෙන ලෙස සකස් කරන්නට හැකි ය. එළවළු හා මස් වර්ග මිශ්‍රකර, එසේත් නැතහොත් එළවළු පමණක් එකතුකර හෝ චීස් මිශ්‍රකර කොත්තු සාදගත හැකි ය.
කොත්තු සෑදීමට සිහින්ව කැපූ රොටි භාවිතා කෙරේ. හෝටල් සහ ආපනශාලාවල කොත්තු සෑදීමේ දී රොටිය කැබලිකර ගැනීමට ලෝහ තහඩු දෙකක් භාවිතා කරයි. එහි දී නිකුත් වන ශබ්දය වර්තමානයේ කොත්තු විකිණීමේ දී පාරිභෝගිකයන් ආකර්ෂණයකර ගැනීමේ ක්‍රමයක් ලෙස ද යොදාගැනේ.
ගමේ, නගරයේ හෝටල්, ආපන ශාලාවල පමණක් නොව, අද වන විට උත්සව අවස්ථාවල දී ද, තරු පන්තියේ අවන්හල්වල දී ද, හා වෙරළ සාදවල දී ද කොත්තුවට පිළිගැනීමක් ලැබී තිබේ.
කොත්තු රොටිය ආශ්‍රිතව නිර්මාණය වූ නූඩ්ල්ස් කොත්තු, කොස් කොත්තු, චීස් කොත්තු, ඉඳිආප්ප කොත්තු, ඩොල්ෆින් කොත්තු හා අයිස්ක්‍රීම් කොත්තු වැනි විකල්ප කොත්තු වර්ග ද ඇත.
පේටන්ට් අයිතිය ගන්න පුළුවන් ද?
කොත්තු සඳහා පේටන්ට් අයිතිය ලබා ගැනීමට ඇති හැකියාව සම්බන්ධයෙන් BBCය ජාතික බුද්ධිමය දේපළ කාර්යාලයෙන් විමසීමක් කරනු ලැබීය.
එම කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල් ගීතාංජලී ආර්. රණවක ප්‍රකාශ කළේ කොත්තු සඳහා පේටන්ට් බලපත්‍රයක් ගැනීමට නම් එහි නවතාවයක් තිබිය යුතු බව යි.
"කොත්තු කියන එක දැනටත් ලංකාව තුළ තියන එකක්. අපි දන්නේ නැහැ කොත්තු කියන එක කවදා හැදිච්ච දෙයක් ද කියලා. මඩකලපුවේ හදපු දෙයක් කියලා කියනවා."
"නව නිර්මාණයක් ලෙස කෑම වර්ගවලට පේටන්ට් ගන්න පුළුවන්, හැබැයි නවතාවයක් තියෙන්න ඕනේ," ඇය පැවසුවා ය. "දැන් පාන් ගෙඩියක් කියන එක හැමෝම දන්න දෙයක් නේ, ඒ වගේ ඒවට පේටන්ට් දෙන්නේ නැහැ."
"දියවෙන්නේ නැතිව තියා ගන්න පුළුවන් කේක් අයිසින් එකක් ලංකාවේ කාන්තාවක් හැදුවා. ඒකට ඇය පේටන්ට් එක ලබා ගත්තා," අධ්‍යක්ෂ ජනරාල්වරිය පැවසුවා ය. "කෑම වර්ගයක් හැදුව පළියට පේටන්ට් හම්බවෙන්නේ නැහැ."
"කොත්තු අලුත් දෙයක් විදිහට පේටන්ට් වෙන්න ඕනේ ඒ කාලේ. දැන් අපිට ඒක කරන්න බැහැ. පේටන්ට් නීතියට සංශෝධනයක් අවශ්‍යවෙන්නේ නැහැ. ඕක කරන්න අපිට හොඳ නීතියක් තියෙනවා. ඒ නීතිය හොඳින් පවත්වාගෙන යනවා," අධ්‍යක්ෂ ජනරාල්වරිය ප්‍රකාශ කරයි.
"ප්‍රශ්නය තමා කාලයක් තිස්සේ අප අවට, අප පරිසරයේ, අපේ සාමාජයේ ප්‍රසිද්ධියට පත්වෙලා තියෙන දෙයක් අලුත් දෙයක් කියලා පේටන්ට් දාන්න බැහැ. අවුරුද්දකට පස්සේ ඒකේ නවතාවය නැතිවෙනවා. ඒක නිර්මාණය කරපු එක්කෙනාම ඒක ප්‍රසිද්ධ කරලා ඉවර යි. ඒක පබ්ලික් ඩොමේන් එකට යනවා නේ."
"කොත්තු කියන ඒකට මේ වෙලාවේ පේටන්ට් බලපත්‍රය ගන්න අපේ නීතියේ පැහැදිලිව තියෙනවා, ඕනෑම එකකට නවතාවයක් තියෙනවා නම් දාන්න පුළුවන්. නවතාවයක් නැති ඔය වගේ දෙයක් අපිට දාන්න බැහැ. ප්‍රසිද්ධියට පත්වෙලා ඔක්කමලගේ අතට ගියාට පස්සෙ ආයේ ඒකේ පේටන්ට් බලපත්‍රය ඒක හදපු කොනාටවත් ගන්න බැහැ," බුද්ධිමය දේපළ කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල් රණවක අවධාරණය කළා ය.
"සාමාන්‍ය ව්‍යවහාරික දැනුම, පරම්පරාගත දැනුම, සමාජීය දැනුම තුළ තියෙන ඒවා පොදු දැනුම තුළ තියෙන ඒවා මිසක්, විශේෂිත දැනුමක් හැටියට පේටන්ට් බපත්‍රය ගන්න බැහැ," ඇය කියා සිටියා ය.
සමාජ මාධ්‍ය ප්‍රතිචාර
කොත්තුවට පේටන්ට් ගැනීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍යයන්ගෙන් ඉදිරිපත් වන්නේ මිශ්‍ර ප්‍රතිචාර ය.