පෙරටුගාමීන් ජවිපේ සමග යළි එක්වෙයි ද?

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
ජනතා විමුක්ති පෙරමුණ හා පෙරටුගාමී සමාජවාදී පක්ෂය යළි එක්වෙයි ද යන්න මේ දිනවල අලුත් කතාබහකට මුල පුරා තිබේ.
එය වඩාත් තීව්‍ර වූයේ ජනතා විමුක්ති පෙරමුණ සමග වැඩ කිරීම පිළිබඳ ප්‍රශ්නයක් නොමැති බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රධාන ලේකම් කුමාර් ගුණරත්නම් පසුගිය දා ප්‍රසිද්ධියේම ප්‍රකාශ කිරීම නිසාවෙනි.
පවතින ආර්ථික අර්බුදය, විනිමය අර්බුදය, පොහාර ගැටලුව, දූෂණය ඇතුළු කරුණු හමුවේ ප්‍රධාන දේශපාලන පක්ෂ පිළිබඳ කලකිරීමෙන් පසුවන ජනතාව, ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජන බලවේගය කෙරෙහි දක්වන උනන්දුව ද ඉහළ යමින් ඇතැ යි විචාරකයෝ පෙන්වා දෙති.
"ජවිපෙ ජනතා දේපළ හොරකම් කරලා නැහැ" - පෙරටුගාමී කුමාර් ගුණරත්නම්
පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රධාන ලේකම් කුමාර් ගුණරත්නම් පසුගියදා පැවති මහජන හමුවකදී පවසා සිටියේ ජනතා විමුක්ති පෙරමුණ සමග වැඩ කිරීම ගැන තම පක්ෂයට ප්‍රශ්නයක් නොමැති බව යි.
"අපි දන්නවා වෙන්ව සටන් කරනවට වැඩිය එක්ව සටන් කරද්දි ලොකු බලයක් ගොඩනගන්න පුළුවන්. ඒ නිසා අපි ලෑස්තියි ජනතා විමුක්ති පෙරමුණේ වෘත්තීය සමිති එක්ක, ශිෂ්‍ය සංවිධාන එක්ක, ගොවි සංවිධාන එක්ක, වෙනත් බහුජන සංවිධානත් එක්ක එකට අත්වැල් බැඳගෙන මහජනතාවගේ ජනතා අවශ්‍යතාවන් සඳහා වෙච්ච මහජන ව්‍යාපාරයක්, මහජන න්‍යායපත්‍රයක් වෙනුවෙන් එකට වැඩ කරන්න. අපි ඒක ඉස්සරත් පෙන්වලා දීලා තියෙනවා. අපි අධ්‍යාපන සටන්වල දී, සෞඛ්‍ය සම්බන්ධ අරගලවල දී, ගුරුවරුන්ගේ අරගලයේ දී, සෑම සියලු තැනක දීම කැපකිරීම් කරමින් අපි පොදු අවශ්‍යතාව ජයග්‍රහණය සඳහා එකට වැඩකරන කලාව, එකට වැඩ කරන්න පුළුවන් කියන විශ්වාසය අපි මේ රටේ ජනතාවට ඇති කරලා තියෙනවා," ඔහු ප්‍රකාශ කළේ ය.
"ජනතාව අතර විශ්වාසයක් ඇවිල්ලා තියෙනවා, මේ අය එකතු වෙලා මොනවහරි වෙනසක් කරනවා නම් හොදයි කියලා. ජනතාව තුළ අපේක්ෂාවක් තියෙනවා, අපි ඒක තේරුම් ගන්නවා."
ජනතා විමුක්ති පෙරමුණ දූෂණවලට සම්බන්ධ වී නොමැති බව ද ඔහු අවධාරණය කළේ ය.
"අපේ පරණ මිත්‍රයෝ අලුත් ආණ්ඩුවක් හදන්න දෙන්න කියලා අද ජනතාවගෙන් ඉල්ලනවා, අපි අදූෂිත යි කියලා කියනවා. අපි දන්නවා ඔවුන් හොරකම් කරලා නැහැ ජනතාවගේ දේපළ," ඔහු කියා සිටියේ ය.
"එහෙත්, ප්‍රශ්නය තියෙන්නේ, ජනතා විමුක්ති පෙරමුණේ නායකත්වයේ ඉන්න කීප දෙනෙක් අද බලාපොරොත්තුවෙන්නේ ධම්මික පෙරේරාලා එක්ක, ඩඩ්ලි සිරිසේනලාත් එක්ක යන ගමනක්. ඒගොල්ලෝ අද බලාපොරොත්තු වෙන්නේ විධායක ජනාධිපති ක්‍රමය වගේ දේවල් එක්ක රට කොහොම ද ඉස්සරහට ගෙනයන්නේ කියලා. ඒ නිසා අපි දන්නවා ඒක අසාර්ථක යි. ඒක අත්දුටුව යි ප්‍රත්‍යක්ෂ යි."
"විධායක ජනාධිපති ක්‍රමයත් නරක නැහැ කියලාත් ඔවුන් දැන් කියනවා. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළ යුතු යි කියලා ජනතා විමුක්ති පෙරමුණේ සටන් පාඨ තිබුණේ දශක ගනනාවකට කලින්," කුමාර් ගුණරත්නම් වැඩිදුරත් පවසා සිටියේ ය.
මතවාදී ගැටුම් ඇති අයට එක්වීමට බැහැ - ජවිපෙ
මේ සම්බන්ධයෙන් පසුගිය දා පැවති රූපවාහිනී සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් පවසා සිටියේ මතවාදී ගැටුම් ඇති අයට එක්වීමට නොහැකි බව යි.
"ජනතා විමුක්ති පෙරමුණේ කියන දේශපාලන පක්ෂයේම කොටසක් තමා පෙරටුගාමී පක්ෂය විදිහට කැඩිලා ගියේ. මතවාදී ප්‍රශ්නයක් හා සංවිධාන ප්‍රශ්නයක් එක්ක තමා කැඩිලා ගියේ. මතවාදී සහ සංවිධාන ගැටුමක් එක්ක පක්ෂයෙන් ඉවත් වෙච්ච කණ්ඩායමකට ආයිත් එකතු වෙන්න බැහැ නේ," ඔහු කියා සිටියේ ය.
"එහෙම නම් ඒ මතවාදය පිළිගන්න ඕනේ. මතවාදය පිළිගන්නවා නම්, සංවිධාන යාන්ත්‍රණය පිළිගන්නවා නම්, ජාතික ජන බලවේගය ප්‍රතිපත්ති මාලාව පිළිගන්නවා නම්, ඒකට එකඟ නම් විවෘතභාවය තියෙනවා," විජිත හේරත් මන්ත්‍රීවරයා පැවසුවේ ය.
කෙසේ වෙතත් මේ දක්වා පෙරටුගාමී සමාජවාදී පක්ෂය සමග මේ සම්බන්ධයෙන් සාකච්ඡා කර නැතැ යි ද ඔහු එහිදී වැඩිදුරටත් පවසා සිටියේ ය.

ඡායාරූප මූලාශ්‍රය, Anura Kumara Dissanayake/Facebook
පෙරටුගාමීන් ජවිපෙන් වෙන්වූයේ ඇයි?
පෙරටුගාමී සමාජවාදී පක්ෂය (FLSP) 2011 වසරේ දී ආරම්භ කරන ලද්දේ ජනතා විමුක්ති පෙරමුණ මතවාදී හා දේශපාලනික වශයෙන් ඛණ්ඩනය වීමේ ප්‍රතිඵලයක් වශයෙනි.
ශ්‍රී ලංකාවේ ධනේශ්වර පාලනයට එරෙහිව, එවකට පැවති රජය විසින් නිර්දය ලෙස මර්දනය කරන ලද 1988/89 සන්නද්ධ අරගලයට නායකත්වය දුන්නේ ජනතා විමුක්ති පෙරමුණ යි. 1988/89 සමයේ දී ආණ්ඩුව කැරැල්ල මර්දනය කිරීම හේතුවෙන් පක්ෂයේ අභ්‍යන්තර සංවිධාන විනාශ විය.
1994 වසරේ දී ජනතා විමුක්ති පෙරමුණ ප්‍රධාන ධාරාවේ දේශපාලනයට පිවිසීමට තීරණය කළේ ය. පෙරටුගාමී සමාජවාදී පක්ෂය පවසන්නේ, පක්ෂය තුළ තීරණාත්මක දේශපාලන හා මතවාදී විවාදයකින් තොරව ජනතා විමුක්ති පෙරමුණ එම තීරණය ගත් බව යි.
එහි ප්‍රතිඵලයක් ලෙස ජනතා විමුක්ති පෙරමුණ පටු ක්‍රියාකාරීත්වයකට යොමු වූ අතර එය ක්‍රමක්‍රමයෙන් පාර්ලිමේන්තු දේශපාලනයට, වෘත්තීය සමිතිවාදයට, ප්‍රතිසංස්කරණවාදයට, සහ ජාතිවාදී ප්‍රවනතාවට මඟ පෑදුනු බව පෙරටුගාමීන් චෝදනා කරයි.
ශ්‍රී ලංකාවේ පැරණි වාම හා සමාන ක්‍රියාමාර්ගයක් ගත් ජවිපෙට සාම්ප්‍රදායික බහුජන ව්‍යාපාරවලින් ඔබ්බට ගොස්, මැතිවරණ පදනම් කරගත් දේශපාලනයෙන් ඔබ්බට ගොස්, අර්ථවත් වාම දේශපාලන වැඩපිළිවෙළක් හඳුන්වාදීමට නොහැකි වූ බව ඔවුන් නගන තවත් චෝදනාවකි.
1989 කැරැල්ල මත ඇති වූ කුරිරු පීඩනය, ශ්‍රී ලාංකේය සමාජය තුළ සන්නද්ධ අරගල කෙරෙහි අනුකම්පා විරහිත ආකල්පය, සහ විකල්ප බහුජන දේශපාලන වැඩපිළිවෙලක් නිර්මාණය කිරීමට නොහැකිවීම නිසා ජවිපෙ පාර්ලිමේන්තුවාදයට උරාගත් බවත්, පාර්ලිමේන්තුවාදය වැළඳගැනීමට ජවිපෙ ගත් තීරණය ජාතිවාදය වැනි වෙනත් බෙදීම් සහ පීලි පැනීමේ සාධක සමග සම්බන්ධ වූ බවත් පෙරටුගාමීන් ඉදිරිපත් කරන චෝදනාවකි.
පෙරටුගාමීන් පෙන්වා දෙන්නේ, මධ්‍යගත නිලධාරී සංවිධාන ව්‍යුහය පක්ෂයේ විප්ලවවාදී භාවිතයන්ට මුළුමනින්ම හානිකර වූ බව යි.
2010 වසරේ පැවති අභ්‍යන්තර සමුළුවේ දී සහයෝගීතාවය සහ වාර්ගික දේශපාලනය පිටුදැකිය යුතු බවට පක්‍ෂයේ බහුතරය තීරණයකට පැමිණියත්, ව්‍යවස්ථාමය හා සංවිධානාත්මක අර්බුදයක් දක්වා පිරිහීගිය පක්‍ෂයේ වැඩපිළිවෙල සකස් කිරීමේ දී එම බහුතර තීන්දුව පක්‍ෂයේ නිලධාරි නායකයින් ගණන් නොගත් බව පෙරටුගාමීන්ගේ තවත් චෝදනාවකි.
ඔවුන් චෝදනාකර සිටියේ පක්‍ෂය දෙකඩවීමට ප්‍රධානතම හේතුව වූයේ මෙම කුමන්ත්‍රණය බව යි.
ඊට අමතරව සුළු ධනේශ්වර දේශපාලන ස්වභාවය, ප්‍රජාතන්ත‍්‍රවාදී මධ්‍යගතවාදය ක්‍රියාවට නැංවීමට අපොහොසත්වීම වැනි උරුම වූ සංස්කෘතික පසුගාමීත්වය ජනතා විමුක්ති පෙරමුණේ බිඳවැටීමට හේතු බවත්, පක්‍ෂය ඛණ්ඩනය වීම නිසා බහුතර පිරිසකට ජනතා විමුක්ති පෙරමුණෙන් වෙන් වී පසුපසට යෑමට සිදුවූ බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂය ප්‍රකාශ කරයි.
එහි ප්‍රතිඵලයක් වශයෙන්, හුදෙක් නාමපුවරුවකට පමණක් සීමා වූ "ජවිපෙ" යන නාමය ඉවත දමා වාම ව්‍යාපාරය ආරක්ෂා කිරීමට බොල්ෂෙවික් පක්ෂයේ බහුතර සාමාජිකයින් ලෙස තමන් තීරණය කළ බව ඔවුන් පවසයි.
2012 මාර්තු මස පෙරටුගාමී සමාජවාදී පක්ෂය සිය පළමු සම්මේලනය පැවැත්වූයේ මීට පෙර JVPය සමග සිටි සාමාජිකයින් රැසකගේ ද සහභාගීත්වය ඇතිව ය. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සහ පක්ෂ ප්‍රචාරක යාන්ත්‍රණයක් අනුමත කරමින් නව මධ්‍යම කාරක සභාවක් පත්කෙරිණ.
2016 වසරේ පැවති සම්මේලනයේ දී දේශපාලන දර්ශනය, විප්ලවවාදී බහුජන ව්‍යාපාර, සහ ලංකාවේ ජාතික ගැටලුව පිළිබඳ සිය ස්ථාවරය ප්‍රකාශයට පත් කිරීමට පෙරටුගාමී සමාජවාදී පක්ෂයට හැකි විය. පක්ෂය, පෙර තීරණ සහ අසාර්ථකවීම් දෙස ආපසු හැරී බැලීමක් එහිදී සිදු කළේ ය.
විප්ලවවාදී ශිෂ්‍ය සංගමය, කම්කරු අරගල මධ්‍යස්ථානය, ගොවි අරගල ව්‍යාපාරය, වෙනසක තාරුණ්‍යය, නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරය, සම අයිතිය ව්‍යාපාරය වැනි බහුජන සංවිධාන රැසක් පෙරටුගාමී සමාජවාදී පක්ෂය සමන්විත වේ.
විශ්වවිද්‍යාල හා අනෙනකුත් ආයතනයන් හී ජනතාවිමුක්ති පෙරමුණට බලය පැවති බොහෝ සංවිධාන්යන්ගි බලය මේ වන විට පෙරටුගාමී සමාජවාදී පක්ෂය හිමි කරගෙන ඇත.
පෙරටුගාමී සමාජවාදී පක්ෂය ජනතා විමුක්ති පෙරමුණ වෙත නඟන චෝදනා සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණු ප්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත්ගෙන් බීබීසී සිංහල සේවය කළ විමසීමකදී පවසා සිටියේ එම චෝදනා සඳහා ප්‍රතිචාර දැක්වීමට තරම් දෙයක් නොමැති බව පවසමිනි.
ජනතා විමුක්ති පෙරමුණ
ජනතා විමුක්ති පෙරමුණේ ආරම්භය 1964 වසරේ දී සනිටුහන් වන අතර, එහි නිර්මාතෘවරයා වන්නේ රෝහණ විජේවීර ය.
එවක රුසියාවේ ඉගෙනුම ලබමින් සිටියදී රුසියාවේ දේශපාලනය විවේචනය කිරීම හේතුවෙන් ඔහුට රුසියාවට ඇතුළුවීම තහනම් කරන ලදී.
ජනතා විමුක්ති පෙරමුණ පවසන්නේ එවකට බලයට පත් වූ ධනේශ්වර ආණ්ඩුව විසඳුමක් නොමැති ගැඹුරු ආර්ථික-දේශපාලන-සමාජ අර්බුදයකට හසුවූ බව යි. වාමාංශික පක්ෂවල වෘත්තීය සමිති විසින් සංවිධානය කරන ලද කම්කරුවන් මෙහෙයවන ලද ව්‍යාපාරය, ආණ්ඩුව පෙරළා එක්සත් වාමාංශික පෙරමුණ බලයට ගෙන ඒමේ අබියස සිටියේ ය.
එම තීරණාත්මක මොහොතේ දී, පළමුව ලංකා සමසමාජ පක්ෂය ද, ඉන් අනතුරුව ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය ද ධනේශ්වර ආණ්ඩුවට එක්වූයේ ඔවුන්ගේ වෘත්තීය සමිතිවල සහ ඔවුන්ට සහාය දුන් ලක්ෂ සංඛ්‍යාත ජනතාවගේ කැමැත්තට එරෙහිව බව ජනතා විමුක්ති පෙරමුණ පෙන්වා දෙයි.
කම්කරුවන් පාවාදීම සහ පොදුවේ ජනතාවගේ කැමැත්ත අනුව නව වමේ ව්‍යාපාරයක් දියත් කිරීමට ඉතා හිතකර තත්ත්වයක් එම කාලසීමාවේ දී නිර්මාණය වූ බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

ඡායාරූප මූලාශ්‍රය, Anura Kumara Dissanayake/Facebook
රෝහණ විජේවීර
ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ සාමාජිකයෙකුගේ පුතෙකු වන රෝහණ විජේවීරට, ඔහුගේ පියාගේ දේශපාලනයේ බලපෑම ලැබුණේ වයස අවුරුදු 16 දී පමණ ය.
රුසියානු මිත්‍රත්ව විශ්වවිද්‍යාලයයේ (පැට්‍රිස් ලුමුම්බා මිත්‍රත්ව විශ්වවිද්‍යාලයය) වෛද්‍ය විද්‍යාව හැදෑරීමට ශිෂ්‍යත්වයක් දිනාගත් ඔහුට සෝවියට් සංගමයේ කොමියුනිස්ට් පක්ෂයේ (CPSU) පක්ෂ පාසලේ දී මාක්ස්වාදය-ලෙනින්වාදය හැදෑරීමට අවස්ථාව හිමිවිය.
ඔහු කෘෂෙව් යටතේ රුසියානු සංශෝධනවාදී වැඩපිළිවෙල විවේචනය කළ අතර, එහි ප්‍රතිඵලයක් ලෙස 1964 නිවාඩු කාලය තුළ ශ්‍රී ලංකාවට ආපසු පැමිණි පසු ඔහුට නැවත සෝවියට් සංගමයට ඇතුළුවීමට වීසා බලපත්‍ර ලබාදීම ප්‍රතික්ෂේප කෙරුණි.
1960 දශකයේ මුල් කාලය තුළ චීනය සහ සෝවියට් රුසියාව අතර මතගැටුම් උත්සන්න විය. සෝවියට් රුසියාව ඒ වන විට නිර්මාක්ස්වාදී මාවතකට - රුසියානු විප්ලවයත් සමග එරට ස්ථාපිත වූ දැඩි මාක්ස්වාදී, ජාත්‍යන්තරවාදී පාලනයෙන් ඉවත් වී සමාජවාදී ක්‍රමයකට - අනුගත වෙමින් පැවතුණි.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය එකල රුසියානු සමාජවාදී පක්ෂ සමග සම්බන්ධතා පැවැත්විය. නමුත් පසු කලක එය රුසියානු කොම්යුනිස්ට් පිළ සහ චීන කොම්යුනිස්ට් පිළ ලෙස බෙදී ගියේ ය.
වාමාංශික දේශපාලනයට නැඹුරු වූ විජේවීර මෙම කාලය තුළ රුසියානු ක්‍රමය දැඩි ලෙස විවේචනය කළේ ය.
මෙතෙක් චීන කොමියුනිස්ට් පිළට සිය මතවාදවලින් පමණක් සහාය දැක්වූ විජේවීර, මෙයින් පසු එම පිළෙහි ක්‍රියාකාරී සාමාජිකයෙකු බවට පත්විය.
කෙසේ නමුත්, වැඩිකල් ගතවීමට පෙර එම පක්ෂයේ ක්‍රියාකලාපය හේතුවෙන් කලකිරුණු විජේවීර, එය තුළ 'ප්‍රති කණ්ඩායමක්' ගොඩනැගීමට කටයුතු කළේ ය. මෙම කණ්ඩායම පසු කලෙක ජනතා විමුක්ති පෙරමුණ ලෙස වර්ධනය විය.
1965 වර්ෂයේ දී ගාල්ල අක්මීමන පැවති කුඩා රැස්වීමකින් අනතුරුව ජනතා විමුක්ති පෙරමුණ පක්ෂයක් ලෙස නිල වශයෙන් ගොඩනැගීමට අවශ්‍ය සැලසුම් සකස් කෙරිණි.
පැරණි වාමාංශික පක්ෂ වන ලංකා සමසමාජ පක්ෂය සහ කොමියුනිස්ට් පක්ෂ සමගි රජය සමග එක්වීම මෙම නව පක්ෂය නිර්මාණය වීමට ප්‍රධානතම හේතුව විය.
'ශ්‍රී ලංකාවේ නිර්ධන පන්තියට රාජ්‍යබලය දිනා ගැනීම' ජනතා විමුක්ති පෙරමුණ පිහිටුවීමේ අරමුණ ලෙස ඔවුන් හදුන්වයි.
විජේවීර ඇතුළු තරුණ කණ්ඩායම් මෙම දේශපාලන මතවාදය ජනතාව අතරට ගෙන යෑම සඳහා රට පුරා රැස්වීම පැවැත් වූ අතර, ඔහු දක්ෂ කථිකයෙකු ලෙස ප්‍රචලිත විය.
පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රධාන ලේකම් කුමාර් ගුණත්නම් ද '80 දශකයේ ඔහුගේ ආභාෂය ලැබූ නායකයෙකු ලෙස සැලකෙයි.

ඡායාරූප මූලාශ්‍රය, Front Line Socialist Party/FB
ජාතික ජන බලවේගය ආණ්ඩු සිහිනයක?
මෙතෙක් මේ රටේ ගොඩනැඟුණු සෑම අමාත්‍යාංශයකටම වඩා අවංක, අදූෂිත, කැපකිරීම් කරන, එම ක්‍ෂේත්‍රය පිළිබද දැනුම සහිත ඇමති මණ්ඩලයක් ජාතික ජනබලවේග ආණ්ඩුවක් යටතේ පත්කර ගන්නා බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක පසුගියදා ප්‍රකාශ කළේ ය.
කළුතර දී පැවැති ජාතික ජනබලවේගය පක්ෂයේ දිසා සමුළුව අමතමින් ඔහු පවසා සිටියේ, තම රජයක් යටතේ තෝරාගනු ලබන්නේ, "ඇමැතිවරු 25ක් හා නියෝජ්‍ය ඇමැතිවරු 25ක් පමණක්" බව යි.
"අපේ රටේ මෙතෙක් බිහිවෙලා තියෙන්නෙ දූෂිත ආණ්ඩු නම්, අපි අදූෂිත ආණ්ඩුවක් හදනවා. ඒ වගේම අපේ රටේ මහජන දේපළ හොරාකන සුපිරි චෞර වළල්ල නීතිය හමුවට පමුණුවනවා. විශේෂයෙන් ඔවුන් හොරා කෑ මහජන දේපළ යළි අත්පත් කරගන්නවා," අනුර කුමාර දිසානායක ප්‍රකාශ කළේ ය.
"සීතල යුද්ධයක් තිබෙන කාලයකත්, කඳවුරු දෙකක කණ්ඩායම් ගෙනැල්ලා නොබැඳි ජාතීන්ගේ සමුළුව තියන්න පුළුවන් විදිහේ හොඳ විදේශ ප්‍රතිපත්තියක් සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියට තිබුණා. ඇයට මා ඒ ගැන ස්තුතිවන්ත වෙනවා. නමුත් ඉන්පසු අපට විදේශ ප්‍රතිපත්තියක් තිබුණෙ නැහැ. අද ලෝකයේ බල කඳවුරු රාශියක් නිර්මාණය වෙලා තියෙනවා. ඒ නිසා මේ කිසිවෙක්ගේ කරට අත නොදාගන්නා නොබැඳි විදේශ ප්‍රතිපත්තියක් අප ක්‍රියාත්මක කරනවා," ඔහු මෙහිදී පවසා සිටියේ ය.
ඔහු වැඩිදුරටත් පැවසුවේ පාර්ලිමේන්තුව කේන්ද්‍රකර ගත්, ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කරන නව පාලන ක්‍රමයක් ශ්‍රී ලංකාවේ ස්ථාපිත කරන බව යි.
"පාර්ලිමේන්තුව කේන්ද්‍රකර ගත් පාලන ක්‍රමයත්, විධායකය කේන්ද්‍රකර ගත්ත පාලන ක්‍රමයත් යන මේ දෙකම ලෝකයේ රටවල තියෙනවා. අවුරුදු 29ක් අපේ රට පාර්ලිමේන්තුව කේන්ද්‍ර කරගෙන පාලනය කළා. අවුරුදු 44ක් විධායක ජනාධිපතිධුරය කේන්ද්‍ර කරගන පාලනය කර තිබෙනවා. අපේ ජීවිතවල වැඩිම කාලයක් ගෙවිලා තියෙන්නෙ මේ විධායක ජනාධිපති ක්‍රමයේ පාලනයත් සමග යි. මේ විධායක ජනාධිපති ක්‍රමය අපේ රටේ සංස්ථා, සමාගම්, මණ්ඩල, ව්‍යුහයන්වල ප්‍රජාතන්ත්‍රවාදය මුළුමනින්ම බිඳවට්ටලා තියෙනවා."
"විධායක ජනාධිපති ක්‍රමය කියන්නෙ නරකම ක්‍රමයකුත් නෙමෙයි. නමුත් අපේ රටේ මේ පුටුවෙ වාඩිවෙන්න තරම් මේ මිනිසුන්ගෙ මනස දියුණු නැහැ. මේ පුටුවෙ පිස්සෙක් වාඩිවුණොත් මොකක් වෙයි ද කියල මේ ක්‍රමය ආරම්භයේ දීම ප්‍රශ්න කළා. දැං වෙලා තියෙන්නෙ ඒක තමයි. මේ විධායකය කේන්ද්‍රකර ගත්ත පාලන ක්‍රමය වෙනුවට පාර්ලිමේන්තුව කේන්ද්‍රකර ගත්ත, ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කරන නවතම පාලන ක්‍රමයක් අපි මේ රටේ ස්ථාපිත කරනවා," ජනතා විමුක්ති පෙරමුණු නායකයා ප්‍රකාශ කළේ ය.











