නව සභාවාරය ආරම්භයේ දී ජනපති ගෝඨාභය දුන් පොරොන්දු 13ක්

Gotabaya at Paliament

ඡායාරූප මූලාශ්‍රය, Gotabaya Rajapaksa/Facebook

නවවැනි පාර්ලිමේන්තුවේ දෙවැනි සභාවාරය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් අද (ජනවාරි 18) පෙරවරු 10ට ආරම්භ විය.

එහිදී ජනාධිපතිවරයා විසින් ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණි.

රජයේ නව ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ජනතාවගෙන් සහය ඉල්ලා සිටියේය.

"අප ඉතිහාසය පුරා ඕනෑ තරම් අභියෝගවලට මුහුණ දුන් ජාතියක්. රටට නිසි නායකත්වයක් තිබුණු අවස්ථාවල අප ඒ අභියෝග සාර්ථකව ජය ගත්තා. මේ අවස්ථාවේත් අපට තියෙන අභියෝග ජය ගන්නට අපට හැකියාව තිබෙනවා. ඒ සඳහා අවශ්‍ය නායකත්වය දෙන්නට මම සූදානම්."

ජනාධිපතිවරයා තවදුරටත් පැවසුවේ, "වර්තමාන අභියෝග ජය ගෙන ජනතාව අපේක්ෂා කරන සෞභාග්‍යමත් දේශය ඉදි කිරීමට අවශ්‍ය කරන සැලසුම් අප ක්‍රියාත්මක කරමින් සිටිනවා. අපේ ඉලක්කය ඉදිරි වසර කිහිපය තුළ කලාපයේ වේගයෙන්ම සංවර්ධනය වන රටක් බවට යළිත් ශ්‍රී ලංකාව පත් කිරීමයි. මේ සඳහා කෘෂිකර්මාන්තය, කර්මාන්ත හා සේවා යන අංශ තුනෙහිම පැහැදිලි වර්ධනයක් ඇති කර ගැනීමට අප කටයුතු කරනවා."

අපේ සැලසුම් සාර්ථකව ක්‍රියාත්මක කිරීම සඳහා මට ඔබගේත් ජනතාවගේත් සහාය අවශ්‍යයි. ජනාධිපතිවරයා පවසා සිටෙියේය.

"මේ රට අයිති මේ රටේ වර්තමානයේ ජීවත් වන මෙන්ම අනාගතයේ ජීවත් වන ජනතාවටයි. අප මේ රටේ වර්තමාන භාරකරුවන් පමණයි. අද අප කටයුතු කරනා ආකාරය මත මේ රටේ අනාගතය තීරණය වෙනවා. ඒ නිසා අප සියලු දෙනාම අනාගත පරම්පරාවට වගකිව යුතුයි.

ඒ නිසා රටට ආදරය කරන සියලු දෙනා එක්ව මේ අවස්ථාවේ ඒ සහාය ලබා දෙනු ඇතැයි මම බලාපොරොත්තු වන බව ජනාධිපතිවරයා කියා සිටියේය.

ජනපතිවරයා සිය කතාවේ දී කැපී පෙනෙන කරුණු කීපයක්ම ඉදිරිපත් කළේ ය. මෙම කරුණුවලින් ඇතැම්වා පහත පරිදි වේ.

  • හරිත කෘෂිකර්මය සඳහා වන රජයේ ප්‍රතිපත්තියේ කිසිදු වෙනසක් නොමැති බව ජනපති අවධාරණ කළේ ය
  • සිය පාලන කාලය තුළ කිසිදු මානව හිමිකම් කඩවීමකට තම රජය අනුබල දී නොමැති බවත්, ඉදිරියේ දී එවැනි ක්‍රියාවන්ට ඉඩ නොතබන බවත්, එවැනි ක්‍රියා අනුමත නොකරන බවත් ජනාධිපතිවරයා කියයි
  • උතුරු නැගෙනහිර හමුදා කටයුතු සඳහා අත්පත් කරගෙන තිබූ ඉඩම්වලින් 90%ක් නැවත නිදහස් කිරීම ආරම්භ කළේ තමා ආරක්ෂක ලේකම් ලෙස කටයුතු කළ සමයේ දී බවත්, ඉදිරියේ දී ඉතිරිව තිබෙන සෙසු ඉඩම් ද නිදහස් කිරීමට හැකියාව ඇතිබවත් ඔහු ප්‍රකාශ කළේ ය
  • අප රට ස්වාධීන රටක් බවත්, බලවත් රටවල් අතර තිබෙන ගැටලුවලට මැදිහත්වීමට අපට අවශ්‍ය නොවන බවත්, සෑම රටක් සමගම මිත්‍රශිලි සම්බන්ධතා පවත්වාගෙන යාමට අවශ්‍ය බවත් ජනපති පැවසීය
  • ඉදිරියේ දී වාහන ගෙන්වීම සඳහා අවසර ලබාදීමේ දී විදුලි බලයෙන් ධාවනය වන මෝටර් රථ ගෙන්වීම සඳහා ප්‍රමුඛතාව දෙන බව ඔහු සඳහන් කරයි
  • වාහන සඳහා විදුලි බලය සැපයීමේ දී පුනර්ජනනීය විදුලි ප්‍රභවයන් භාවිතයට පියවර ගන්න බව ද ප්‍රකාශ කළේ ය
  • මොනම හේතුවක් සඳහා හෝ ගල් අඟුරු බලාගාර ඉදිකිරීමට අනුමැතිය නොදෙන බව ජනපති අවධාරණය කළේ ය
  • විශ්වවිද්‍යාල සුදුසුමක් ලබන සෑම සිසුවෙකුටම තොරතුරු තාක්ෂණය, ඉංග්‍රීසි හා ව්‍යවසායකත්ව දැනුම ලබා දීමට පියවර ගන්නා බව ජනපතිවරයා පවසයි
  • "අප ජාතිවාදය ප්‍රතික්ෂේප කරනවා. වත්මන් රජයට අවශ්‍ය සෑම පුරවැසියකුගේම ගෞරවය සහ අයිතිවාසිකම් එක සේ ආරක්ෂා කිරිමට යි," පවසන ජනපතිවරයා, "පටු දේශපාලන අරමුණු මත" ජනතාව එකිනෙකා තවදුරටත් උසිගැන්වීම නතර කරන ලෙස "එය තවදුරටත් සිදු කරන දේශපාලකයින්ගෙන්" ඉල්ලා සිටියේ ය
  • ෆයිබර් සහ 4G ජාලයන් ව්‍යාප්ත කිරීම සහ සෑම ප්‍රදේශයකට බ්‍රෝඩ්බෑන්ඩ් අධිවේගී අන්තර්ජාල පහසුකම් ලබාදීම සිදුකෙරෙන බව ඔහු පවසා සිටියේ ය
  • ඩිජිටල් හැඳුනුම්පත හදුන්වා දීමේ පළමු පියවර මේ වසර තුළ දී ඇරඹෙන බව ජනපති කියා සිටියේ ය
  • අධිකරණ පද්ධතිය ඩිජිටල්කරණය කරන බව ද ඔහු ප්‍රකාශ කරයි
  • ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත් කෙටුම්පතට කාලානුරූපීව සංශෝධන ගෙනඒමට පියවර.