අයවැය 2022: හිඟය පියවන්න 'හොරසල්ලි' යොදා ගෙන ඇති බව කිරිඇල්ල කියයි
මේ ආණ්ඩුව කොතරම් බංකොළොත් ද කිවහොත් අයවැය හිඟය පියවීම සඳහා 'හොර සල්ලි' ද යොදාගෙන ඇති බවට පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල අද (නොවැම්බර් 15) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
පර්පර්චුවල් ට්‍රේෂරිස් සමාගම අයථා ලෙස උපයාගත් මුදල් යළි භාණ්ඩාගාරයට ලබා ගැනීමට අයවැය ලේඛනයෙන් කර ඇති යෝජනාව ගැන සභානායක, දිනේෂ් ගුණවර්ධන කළ කරුණු දැක්වීමකට ප්‍රතිචාර ලෙස කිරිඇල්ල මන්ත්‍රීවරයා මෙසේ පැවසුවේය.
''එතුමා කිවුවා පර්පර්චුවල් ට්‍රේෂරිස් හොර සල්ලි කියලා. හරි, ඒක අපි පිළිගන්නවා. නමුත් මේ ආණ්ඩුව කොතරම් බංකොළොත් ද කිවහොත් හොර සල්ලිත් ගත්තා අයවැය හිඟය පියවන්න'' යනුවෙන් කියා සිටියේය.
ඊට ප්‍රතිචාර දැක්වූ සභානායකවරයා පැවසුවේ, ''පිළිගත්තා ඔව්, පළවැනි කටින් කියවුණා අපි පිළිගන්නවා මහා වංචාව කියලා. මහා වංචාකාරයෝ.'' යනුවෙන් සඳහන් කළේය.

