පැන්ඩෝරා පත්‍රිකා: නිරූපමා සහ නඩේෂන්ගේ සැඟවූ ධනය හෙළිදරව් වේ

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
මෑතක දී ලෝක බලවතුන්, ධනවතුන්, සහ දේශපාලකයින් ඇතුළු පුද්ගලයින් විසින් සිදුකෙරුණු බදු පැහැරහැරීම්, අයථා ධනය රැස්කිරීම්, සහ මුදල් විශුද්ධිකරණ කටයුතු ආදිය හෙළිදරව් කෙරුණු 'පැන්ඩෝරා පේපර්ස්' නම් අනාවරණයක් සිදුවූබව ඔබ දනියි.
දේශපාලන සබඳතා ඇති ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකු ද මෙම අනාවරණයන් මඟින් නම්කෙරිනි.
හිටපු රාජ්‍ය ඇමැතිනී නිරූපමා රාජපක්ෂ සහ ඇගේ සැමියා විදේශ සමාගම් භාවිතා කරමින් ලොව පුරා සිය ධනය සැඟවූබව මෙම රහස් ලිපිගොනුවලින් හෙළි කරයි. මේ ධනය අතරට සුඛෝපබෝගී නිවෙස්, වටිනා කලාකෘතීන්, සහ මුදල් ද අයත් ය.
පැන්ඩෝරා පත්‍රිකා හෙළිදරව්ව සිදුකළ 'ගවේශනාත්මක මාධ්‍යවේදීන්ගේ ජාත්‍යන්තර සම්මේලනය' (ICIJ) විසින් මෙම ශ්‍රී ලාංකිකයින් දෙදෙනා සම්බන්ධයෙන් සිදුකළ අනාවරණය මෙම ලිපියෙන් දැක්වේ. BBC පැනොරාමා ද පැන්ඩෝරා පත්‍රිකා අනාවරණයට සම්බන්ධ ය.
බලවත් යුවලගේ අක්වෙරළ වත්කම්
2018 වර්ෂයේ මුල්භාගයේ දී, ලන්ඩනයේ ගබඩාවක සේවකයෝ ධනයට අධිපති හින්දු දේවතාවිය වන ලක්ෂ්මී දෙවඟනගේ තෙල් සායම් සිතුවමක් ස්විට්සර්ලන්තය බලා යන වෑන් රථයකට පැටවූහ.
දහනව වැනි සියවසේ ඉන්දීය මහා චිත්‍ර ශිල්පියෙකු වන රාජා රවී වර්මා අතින් සිත්තම් වූ මෙම සිතුවමෙන්, අත් සතරක් දරන දේවතාවිය රක්ත වර්ණ සාරියකින් ද නොයෙකුත් ස්වර්ණාභරණයෙන් ද සැරසී පියුමක් මත සිටින අයුරු නිරූපනය වේ.

එය ස්විට්සර්ලන්තයේ ජිනීවාහි බදුවලින් නිදහස් වරායක් වෙත ප්‍රවාහනය කරන ලද ඩොලර් මිලියන 1කට ආසන්න වටිනාකමින් යුත් කලාකෘතීන් 31කින් එකක් විය. පාපන්දු ක්‍රීඩාංගණ 20කටත් වඩා විශාල මෙම අධිආරක්ෂිත ගබඩා සංකීර්ණයේ සැඟව ඇති වටිනා වස්තූන් අතර, වරක් BBCය විසින් "කිසිවෙකුත් නොදකින ශ්‍රේෂ්ඨතම කලාකෘතීන් එකතුව" ලෙස හැඳින්වුණු කලා නිර්මාණයන් ද ඇතුළත් වේ.
ඇසුරුම් තුණ්ඩුවේ සඳහන් වූ පරිදි "ලක්ෂ්මී දෙවඟන" සහ ඒ සමග ප්‍රවාහනය කෙරුණු අනෙකුත් කලාකෘතීන්හි අයිතිකරු වූයේ සැමෝවාහි ලියාපදිංචි වුණු, 'පැසිෆික් කොමෝඩිටීස් ලිමිටඩ්' නම් ඉතා සාමාන්‍ය නමක් සහිත සමාගමකි.
නමුත් සිංගප්පූරුව පදනම් කරගත් මූල්‍ය සේවා සැපයුම්කරුවෙකු වන 'ඒෂියාසිටි ට්‍රස්ට්' ආයතනයෙන් කාන්දු වූ ලිපි ලේඛනවලින් පෙන්නුම් කෙරෙන්නේ, දේශපාලන සබඳතා ඇති ශ්‍රී ලාංකිකයෙකු වන තිරුකුමාර් නඩේෂන් එම සමාගම රහසිගතව පාලනය කරන බව ය. එම නිසා මේ කලාකෘතීන් තිස් එකේ සැබෑ හිමිකරු ඔහු ය.
ඔහුගේ බිරිඳ වන නිරූපමා රාජපක්ෂ ශ්‍රී ලංකාවේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක වන අතර, දශක ගණනාවක් තිස්සේ ඉන්දියානු සාගරයේ මෙම දූපත් දේශයේ දේශපාලනය පාලනය කරන බලවත් රාජපක්ෂ පවුලේ ඥාතියෙකි.
ශ්‍රී ලංකාව දශක ගණනාවක් තිස්සේ සිදුවූ ලේ වැකි සිවිල් යුද්ධයෙන් විනාශ වෙමින් පවතිද්දී මෙම යුවල කලාකෘතීන්, සහ සුඛෝපභෝගී නිවාසයන් මිළ දී ගැනීමටත්, මුදල්, සුරැකුම්පත්, සහ වෙනත් වත්කම් ගබඩා කිරීමටත් නිර්නාමික අක්වෙරළ භාරයන් හා නාමික සමාගම් පිහිටුවාගත් බව ICIJ විසින් ලබාගැනුණු රහස්‍ය ලේඛනවලින් පෙන්නුම් කෙරේ.
විශේෂයෙන්ම ශ්‍රී ලංකික බලධාරීන් විසින් විමර්ශනය කෙරෙමින් පැවති කුප්‍රකට දූෂණ සිද්ධියක ඉලක්කයක් බවට නඩේෂන් පත්වීමෙන් අනතුරුව ද ඔවුන් සිය ධනය උපයාගත් අන්දම ප්‍රශ්න නොකළ මූල්‍යමය සේවා සපයන්නන්ගේ ද, නීතිඥවරුන් සහ අනෙකුත් සුදු කරපටි වෘත්තිකයින්ගේ ද සහාය ඇතිව එම මහා ධනස්කන්ධය රහසිගත බල ප්‍රදේශයන්හි සඟවා තැබීමට ඔවුහු සමත්වූහ.
නඩේෂන් අරමුදලේ මූල්‍ය වාර්තා පිළිබඳව සිදු කෙරුණු ICIJ විශ්ලේෂණයකට අනුව, 2017 වර්ෂය වන විට රාජපක්ෂ සහ නඩේෂන් සතුවූ (මින් පෙර ප්‍රසිද්ධියට පත් නොකළ) අක්වෙරළ හිමිකම්වල වටිනාකම ඩොලර් මිලියන 18ක් පමණ වේ. නමුත් ශ්‍රී ලංකාවේ වාර්ෂික මධ්‍යයන ආදායම වන්නේ ඩොලර් 4000කටත් අඩු මුදලක් ය.
ඒෂියාසිටි වෙත යැවුණු ඊමේලවලට අනුව, 2011 වසර වන විට නඩේෂන්ගේ මුළු වත්කම් ප්‍රමාණය ඩොලර් මිලියන 160කට අධිකබව ඔහුගේ දීර්ඝකාලීන උපදේශකයෙකු සඳහන් කරයි. මෙම අගය ස්වාධීනව තහවුරුකර ගැනීමට ICIJට නොහැකි විය.
නඩේෂන් සහ නිරූපමා රාජපක්ෂගේ මූල්‍ය කූටෝපායන් විස්තර කෙරෙන වාර්තා ඇතුළත් වන්නේ, පැන්ඩෝරා පත්‍රිකා විමර්ශනයේ කොටසක් ලෙස ICIJ විසින් ඒෂියාසිටි සහ තවත් අක්වෙරළ සේවා සපයන්නන් 13 දෙනෙකුගෙන් ලබාගෙන ලොව පුරා මාධ්‍ය සහකරුවන් හා බෙදාගැනුණු වාර්තා මිලියන 11.9 අතර ය.
වසර දෙකක් පුරාවට සිදුකෙරුණු මෙම විමර්ශනයෙන්, බෙලහීන සහ ඒකාධිපති පාලනයක් ඇති දේශයන්ගෙන් බිලියන ගණනක වත්කම් ඉවත්කොට නාමික සමාගම් සහ භාරයන් යටතේ පවත්වා ගෙන එන පුද්ගලික ගිණුම්වල තැන්පත් කෙරෙනබව අනාවරණය විය. මේවා බොහෝවිට අධිකරණයෙන්, ණය හිමියන්ගෙන්, සහ නීතිය ක්‍රියාත්මක කරන බලධාරීන්ගෙන් සැඟව පවතියි.

ඡායාරූප මූලාශ්‍රය, AFP
මෙහි ප්‍රතිඵල ලෙස: ලොව වටා රජයන්ට ඉතා අත්‍යවශ්‍ය වන සම්පත් අහිමිකර ඇති අතර, ගෝලීය ධනය පුද්ගලයින් සුළු පිරිසක් අතර සංකේන්ද්‍රණ වී ඇත.
දුප්පතුන් හා පොහොසතුන් අතර වන ආදායම් පරතරය අඛණ්ඩව ඉහළ යන්නේයැ යි ආර්ථික විද්‍යාඥයන් පවසන ශ්‍රී ලංකාවේ බදු රෙගුලාසිවල ලිහිල්බව ධනවතුනට ද බලවතුනට ද වරප්‍රසාදයක් බවට පත්වී තිබේ. සිවිල් යුද්ධයෙන් සිදුකළ හානියෙන් තවමත් මිදී නැති රටේ සෙසු ජනයාට පාසල්, සෞඛ්‍ය සේවා සහ වෙනත් සමාජ වැඩ සටහන් සඳහා ආයෝජනය කිරීමට ඉතිරිකර ඇත්තේ ඉතා සුළු මුදලකි.
ශ්‍රී ලංකා මුදල් අමාත්‍යංශයේ හිටපු නිලධරයෙකු ද, වර්තමානයේ ඕස්ට්‍රේලියාවේ මොනෑෂ් විශ්වවිද්‍යාලයයේ කථිකාචාර්යවරයෙකු ද වන පියදාස එදිරිසූරිය පවසන්නේ, සිය සේවාදායකයින් පුළුල් තක්සේරුවකට ලක් කිරීමෙන් සහ ඔවුන්ගේ ගනුදෙනු නිරීක්ෂණය කිරීමෙන් නීති විරෝධී මුදල් ගලා ඒම නැවැත්වීමට අක්වෙරළ මූල්‍ය සේවා සමාගම්වලට හැකිබව යි.
"නමුත් ජාත්‍යන්තර මූල්‍ය ආයතන ගත්තහම, ගොඩක් ඒවා මේ දේවල් කරන්නේ නැහැ," ඔහු පැවසුවේ ය. "ඒ නිසා තමයි ශ්‍රී ලංකාව වගේ රටවල මිනිස්සුන්ට දූෂිත ක්‍රමවලින් මුදල් හොයන්නත්, මේ වගේ බදු පාරාදීසයන් හරහා පහසුවෙන්ම ඒ මුදල් රටින් පිටකරන්නත් පුළුවන් වෙලා තියෙන්නේ."
ශ්‍රී ලංකාවේ ජනාධිපති වන්නේ, නිරූපමා රාජපක්ෂගේ පරලෝසැපත් පියාගේ ඥාති සොහොයුරෙකු වන ගෝටාභය රාජපක්ෂ යි. ජනාධිපතිවරයාගේ වැඩිමහල් සොහොයුරා රටේ අගමැති ය. මානව හිමිකම් සංවිධානයන මෙම සොහොයුරන් දෙදෙනාට එරෙහිව යුධ අපරාධ චෝදනාවන් එල්ලකර තිබේ.
මෙම පවුල ඩොලර් බිලියන ගණනක ධනයක් රැස්කර, එයින් කොටසක් ඩුබායි, සීෂෙල්ස්, සහ ශාන්ත මාර්ටින්හි බැංකු ගිණුම්වල සඟවා ඇතැ යි හිටපු රජයේ නිලධාරීන් චෝදනාකර ඇත. මාධ්‍ය වාර්තාවන්ට අනුව, මෙම පවුලේ සාමාජිකයින් සහ විශ්වාසවන්තයින්ගෙන් අවම වශයෙන් අටදෙනෙකු වත් බලධාරීන් විසින් විමර්ශනය කෙරෙමින් පවතින අතර, ඉන් ඇතැමුන් වංචා, අල්ලස සහ ව්‍යපහරණය ඇතුළු අපරාධ සම්බන්ධයෙන් චෝදනා එල්ලවී ඇත.
නිරූපමා රාජපක්ෂගේ සැමියා වන නඩේෂන් වෙත එල්ලව ඇති චෝදනාවක් නම්, ඔහු සිය බිරිඳගේ පාර්ශවයේ ඥාතී වන රජයේ ඇමැතිවරයෙකුට රජයේ මුදල් භාවිතකර සුඛෝපභෝගී මන්දිරයක් තැනීම සඳහා හොර රහසේම උපකාර කළේ ය යන්න යි.
ගෝටාභය රාජපක්ෂ 2015 දී දිවුරුම් පෙත්සමකින් කියා සිටියේ, තමා සහ පවුලේ ඇතැම් සාමාජිකයින් "පළිගැනීමේ කුරිරු ප්රයත්නයක" ඉලක්කයන් වූ බව යි.
ICIJ විසින් ඉදිරිපත් වූ ප්රශ්නාවලියකට පිළිතුරු ලෙස, "පුද්ගලික කාරණා සම්බන්ධ තීරණ [එම යුවල] සිය උපදේශකයින් ද සමග නියමාකාරයෙන් ගනු ලබනබව" පැවසූ නිරූපමා රාජපක්ෂ සහ නඩේෂන්, සිය සමාගම් සහ අරමුදල් පිළිබඳ කිසිවක් ප්‍රකාශ නොකළෝ ය.
2016 දී තමාට එරෙහිව එල්ලවූ චෝදනා "ව්‍යාජ, සහ දේශපාලන උවමනාවන් නිසා සිදුකෙරුණු" බව නඩේෂන් වැඩි දුරටත් සඳහන් කළේ ය.
ඒෂියාසිටි ප්‍රකාශ කළේ සිය සමාගම "සිය ව්‍යාපාරික කටයුතු සියලු නීති සහ රෙගුලාසිවලට අනුකූලබවට වගබලා ගැනීම ද ඇතුළුව, ඉහළම ව්‍යාපාරික ප්‍රමිතීන්ට කැපවී සිටිනබව" යි.
නඩේෂන් සහ නිරූපමා රාජපක්ෂ වෙත සැපයූ සේවාවන් පිළිබඳව එම සමාගම කිසිවක් ප්‍රකාශ නොකළේ ය.
නඩේෂන් සහ නිරූපමාගේ නාමික සමාගම් සහ භාරයන්
නිරූපමා රාජපක්ෂ සහ නඩේෂන්ට අයථා මූල්‍ය කටයුතුවල නිරතවීම සම්බන්ධයෙන් චෝදනා එල්ලවී ඇත්තේ අද ඊයේක සිට නොවේ.
මේ වන විට 59 වැනි වියේ පසුවන ඇයත්, ඇගේ සැමියා නඩේෂනුත් අක්වෙරළ පාලන ප්‍රදේශයන් තුළ නාමික සමාගම් සහ භාරයන් පිහිටුවීම අරඹා ඇත්තේ යුද්ධය පැවති සමයේ පටන්බව දැනට හෙළිදරව් වූ වාර්තාවලින් පෙන්නුම් කරයි.
බ්‍රිතාන්‍යයේ ඉගෙනුම ලැබූ ව්‍යාපාරිකයෙකු ද, ශ්‍රී ලංකාවේ හින්දු පුණ්‍යායතන සහ කෝවිල් කීපයකම භාරකරු ද වන නඩේෂන්, 1990 දී ප්‍රංශ වෙරළට ඔබ්බෙන් පිහිටි බ්‍රිතාන්‍ය කිරීටයේ උපවී රාජ්‍යයක් වන චැනල් දූපත්හි නාමික සමාගමක් ද භාරයක් ද පිහිටුවීය.
'පැසිෆික් කොමෝඩිටීස් ලිමිටඩ්' නම් මෙම සමාගම ශ්‍රී ලංකා රජය සමග ගනුදෙනු කරන විදේශීය සමාගම්වලට උපදේශක සේවා සපයමින් ඩොලර් මිලියන ගණනින් උපයා ඇතිබව අභ්‍යන්තර ලිපිගොනුවකින් පෙන්නුම් කරයි.
ඉන් එක් ගනුදෙනුකරුවෙකු වූයේ, ශ්‍රී ලංකාවේ ජාතික ගුවන් ප්‍රවාහන සමාගම (අද ශ්‍රීලංකන් එයාලයින්ස්) සම්බන්ධ ව්‍යාපෘතියකට ගුවන්තොටුපළ බස්රථ සැපයූ Contrac GmbH නම් ජර්මානු සමාගම යි.
ලංකාවේ සිවිල් යුද්ධය දරුණු අතට හැරෙමින් තිබූ 1991 වසරේ මැයි මාසයේ දී, රාජපක්ෂ සහ නඩේෂන් චැනල් දූපත්හි ජර්සිහි දී 'රොසෙටි ලිමිටඩ්' නම් තවත් නාමික සමාගමක් ආරම්භ කළහ. රහස්‍ය ලියකියවිලිවලට අනුව එම සමාගම "ප්‍රධාන වශයෙන්ම ශ්‍රී ලංකාව තුළ කෙරෙන ආයෝජන සම්බන්ධව" උපදේශන සේවා සපයයි.
නිරූපමා-නඩේෂන් යුවල සිඩ්නිහි ඩාලින් වරාය ආසන්නයේ පිහිටි සුඛෝපබෝගී නිවාස සංකීර්ණයක නිවෙසක් මිලට ගැනුමට රොසෙටි සමාගම භාවිත කළෝ ය. ඔවුහු ලන්ඩන් නගරයෙන් සුඛෝපබෝගී නිවාස තුනක් මිළට ගැනීමට ද එම නාමික සමාගම භාවිත කළෝ ය. මෙයින් තේම්ස් ගඟ අසල පිහිටි නිවෙස ඉන් වසර කීපයකට පසු ඩොලර් 850,000කට විකිනුණු අතර, මිලියන 4කට වඩා වටිනා අනෙකුත් නිවාසයන් ද්විත්වය "ව්‍යාපාරික කටයුතු සඳහා" කුලියට දී ඇත.

මෙම දේපළ මෙම යුවලට අයත්බව මින් පෙර හෙළිදරව් වී නොතිබුණි. චැනල් දූපතේ පිහිටවූ සමාගම හරහා ඒ දේපළ මිලට ගැනීම මඟින් එහි රහස්‍යභාවය තහවුරු විය. එම දූපත්හි පාලනය, එහි පිහිටා ඇති සමාගම්වල සැබෑ අයිතිකරුවන්ට බදු නොගෙවමින් හෝ සාපේක්ෂව සුළු බදු ප්‍රමාණයක් ගෙවමින්, මහජන ඇසින් තම වත්කම් වල අයිතිය වසන් කිරීමට ඉඩ සලසයි.
නිරූපමා රාජපක්ෂ සහ නඩේෂන් සතුයැ යි හෙළිදරව් වූ අනෙකුත් දේපළ සහ වත්කම් පිළිබඳ සියලු තොරතුරුත්, ඔවුන් ඒවා උපයාගන්නට ඇති ආකාරයත් පිළිබඳ ICIJ වාර්තාව මෙතැනින් පිවිසී කියවිය හැකිය.
මේ වන විට සිදුවන්නේ කුමක් ද?
පැන්ඩෝරා පත්‍රිකා මඟින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් හෙළිදරව් වූ කරුණු සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් සිදුකර මසක් ඇතුළත වාර්තාව ලබාදෙන්නැ යි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට නියෝග කළබව ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක අද (සැප්. 6) සඳහන් කළේ ය.
රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පසුගියදා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ පැන්ඩෝරා පත්‍රිකාවල සඳහන් වන්නේ 1990 සිට 2000 දක්වා දශකය තුළ රැස්කළ මුදල් සම්බන්ධයෙන් නිසා රාජපක්ෂ රජයට එය කිසිසේත් අදාල නොවනබව යි.
මේ අතරේ ජනාධිපතිවරයා වෙත ලිපියක් ලියමින් තිරුකුමාර් නඩේෂන් කියා සිටින්නේ තමා හෝ තම බිරිඳ සම්පූර්ණයෙන්ම නිර්දෝෂී බවටත්, කිසිදු අපරාධයකට වරදකරු නොවන බවටත් තමා සහතික වනබව යි.
තමනුත්, තම බිරියත් මේ සිදුවීම නිසා පීඩාවට පත්ව සිටිතැයි සඳහන් කරන ඔහු, මේ පිළිබඳව විමර්ශනය කිරීම සඳහා 'විශ්‍රාමික අභියාචනාධිකරණ විනිසුරුවරයෙකු' වැනි ස්වාධීන විමර්ශකයෙකු පත්කරන මෙන් ජනපතිවරයාගෙන් ඉල්ලා සිටියි.










