ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ශ්‍රී ලංකා: ජනාධිපති සමාවට එරෙහිව හිරුණිකා ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ගියේ ඇයි?
- Author, සරෝජ් පතිරණ
- Role, BBC සිංහල සේවය
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාට ජනාධිපති සමාව ප්‍රදානය කරන්නේ නම් ත්‍රස්තවාදී චෝදනා යටතේ බන්ධනාගාරගතව සිටින හෝ දිගු කලක් රඳවාගනු ලැබ සිටින සිරකරුවන් ද නිදහස් කළ යුතුව තිබූ බව හිටපු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර පවසන්නීය.
එමෙන්ම සිය පියාගේ ඝාතනය සම්බන්ධයෙන් දඬුවම් ලබා සිටින අනෙක් සිරකරුවන් තිදෙනා ද දුමින්ද සිල්වා සමඟ නිදහස් කළ යුතුව තිබුන බව ද ඇය පවසන්නීය.
"මම කියන්නේ රටක නීතිය හැමෝටම එක හා සමානව තියෙන්න ඕනේ. අවනීතිය ක්‍රියාත්මක වෙනවා නම්, ඒකත් එක හා සමානව තියෙන්න ඕනේ," යනුවෙන් සඳහන් කළ ඇය, "මේ රටේ පවතින්නේ අවනීතිය. ජනාධිපතිතුමාගේ නීතිය. ජනාධිපතිතුමාට අවශ්‍ය දේ තමයි නීතිය," යනුවෙන් ද කියා සිටියාය.
දැනට සමගි ජන බලවේගයේ කාන්තා අංශයේ නායිකාවක වන හිරුණිකා ප්‍රේමචන්ද්‍ර හිටපු මන්ත්‍රීවරිය ඒ බව කියා සිටියේ, සූම් තාක්ෂණය ඔස්සේ බීබීසී සිංහල සේවය සමඟ සංවාදයකට එක්වෙමිනි.
ඕනෑම පුද්ගලයෙකුට ජනාධිපති සමාවක් ප්‍රදානය කිරීමට විධායක ජනාධිපතිවරයාට බලය තිබෙන්නේ නොවේදැයි බීබීසී කළ විමසීමට පිළිතුරු දෙමින් ඇය කියා සිටියේ, එසේ බලයක් තිබුණ ද එහිදී අනුගමනය කළ යුතු නිසි ක්‍රියා පිළිවෙතක් ද පවතින බවය.
භාරත ලක්‍ෂමන් ප්‍රේමචන්ද්‍ර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ඇතුළු සිව් දෙනෙකුට වෙඩි තබා ඝාතනය කළ බවට වරදකරු වී මරණ දණ්ඩනය ලබා සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් ජනාධිපති පොදු සමාවක් ප්‍රදානය කිරීමෙන් අනතුරුව පසුගිය ජුනි 24 වෙනි දින නිදහස් කෙරිණි.
ඉන් සති කිහිපයකට පසුව ජනාධිපතිවරයා විසින් ඔහු ජාතික නිවාස අධිකාරියේ සභාපති පදවියට පත්කරනු ලැබිණ.
දුමින්ද සිල්වාට ජනාධිපති සමාව ප්‍රදානය කිරීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කිරීම පිළිබඳව බීබීසී සමඟ අදහස් දක්වමින් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර කියා සිටියේ, අදාළ සමාව ප්‍රදානය කිරීමේ දී නිසි නීතිමය ක්‍රියාමාර්ගය අනුගමනය කළේ දැයි ශ්‍රී ලංකා නීතිඥ සංගමය ජනාධිපතිවරයාගෙන් විමසීමක් කරනු ලැබ ඇතත්, එයට මෙතෙක් ප්‍රතිචාරයක් පළ වී නොමැති බවය.
"දුමින්ද සිල්වා මහත්තයට එල්ල වෙලා තියන චෝදනාවම තමයි එතුමත් එක්ක මරණ දඬුවම ලබපු අනිත් කට්ටියටත් තියෙන්නේ. එතකොට මොන ක්‍රියා පිළිවෙත යටතේ ද මෙතුමාට විතරක් විශේෂය කළේ? එහෙනම් මේ මරණය අමතක කරලා දාල, අර ඉන්න අනිත් තුන් දෙනාටත් සමාව දිය යුතුයි."
එබැවින් ජනාධිපති සමාව ප්‍රදානය කිරීමේ දී අදාළ විනිසුරුවරුන්ගෙන්, නීතිපතිවරයාගෙන් සහ අධිකරණ ඇමතිවරයාගෙන් ද වාර්තා කැඳවා නිසි ක්‍රියාදාමය අනුගමනය කළේ දැයි තමන්ට දැනගැනීමට අවශ්‍ය බවත් ඝාතනයට ලක් වූ භාරත ලක්ෂමන් හිටපු මන්ත්‍රීවරයාගේ දියණිය බීබීසී සිංහල සේවය සමඟ පැවසීය.
"ජනාධිපතිතුමාට 20 වෙනි සංශෝධනයෙන් අසීමිත බලයක් ලැබුණ කියල අර වඳුරට දැලි පිහිය ලැබුණ වගේ හැසිරෙන්න බැහැනේ."
ඇය පවසන්නේ, විශේෂයෙන්ම අධිකරණ අමාත්‍ය අලි සබ්‍රි මෙවැනි සමාව දීමකට අනුමැතිය පළකරනු ඇතැයි තමන්ට විශ්වාස කළ නොහැකි බවය.
සිය උත්සාහය කිසිසේත්ම වෛරය මත පදනම් වූවක් නොවන බව හිරුණිකා ප්‍රේමචන්ද්‍ර අවධාරණය කරයි.
"මගෙන් හැමදෙනාම අහන ප්‍රශ්නයක් ඇයි මේ වෛරය? කියල. මෙතන කිසිම වෛරය පිළිබඳ කතාවක් නෙවෙයි තියෙන්නේ. මම දුමින්ද සිල්වා හිටපු මන්ත්‍රීතුමාට මම අදහන බෞද්ධ දහම අනුව මම සමාව දීල ඉවරයි," ඇය පැවසීය.
"මොකද එතුමාට මරණ දඬුවම ලැබුණත්, නැතත් මගේ තාත්ත නැවත මගේ ලඟට එන්නේ නෑ."
සිය උත්සාහය නීතියේ ආධිපත්‍යය ක්‍රියාත්මක නොවන රටකට කිසිසේත්ම ඉදිරියට යාමට නොහැකි බව පෙන්වා දීම බවත් හිටු එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරිය කියා සිටියාය.
කියවන්න:
"ස'ර් විතරක් නෙවෙයි සා'ත් ෆේල්"
ශ්‍රී ලංකාව බරපතල මූල්‍ය අර්බුදයක් ඇතුළු අර්බුද ගණනාවකට මුහුණ දී සිටින අවස්ථාවක ප්‍රධාන විරුද්ධ පක්ෂය ලෙසින් සමගි ජන බලවේගය සිය කාර්යභාරය නිසි පරිදි වටහාගෙන සිටින්නේ දැයි යන්න බීබීසී සිංහල සේවය ඇය වෙත මතු කළ තවත් ප්‍රශ්නයකි.
විශේෂයෙන්ම කරු ජයසූරිය හිටපු කතානායකවරයා නායකත්වය දෙන සාධාරණ සමාජයක් සඳහා වූ ව්‍යාපාරය වෙත විවිධ සංවිධාන සම්බන්ධවෙමින් සිටින අතර, පසුගියදා "සැබෑ දේශප්‍රේමියෝ" ව්‍යාපාරය යටතේ "රැඩිකල් මැද" ආරම්භ කරමින් හිටපු අමාත්‍ය මංගල සමරවීර කියා සිටියේ "ස'ර් පමණක් නොව සා'ත් ෆේල්" බවය.
දේශපාලන විචාරකයන් පෙන්වාදෙන පරිදි එය, විපක්ෂනායක සජිත් ප්‍රේමදාස වෙත එල්ල කළ විවේචනයකි.
ඒ පිළිබඳව විමසූ විට විරුද්ධ පක්ෂ දැනට වඩා ක්‍රියාකාරී විය යුතු බව පිළිගත් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර අවධාරණය කළේ, විපක්ෂනායකවරයාට තවත් කිසිවෙකුත් ආදේශ කරගත නොහැකි බවය.
"සජිත් ප්‍රේමදාස කියල කියන්නේ සජිත් ප්‍රේමදාස. මහින්ද රාජපක්ෂ කියන්නේ මහින්ද රාජපක්ෂ. මේ හැමකෙනාටම තමුන්ට ආවේණික වෙච්ච අනන්‍යතාවක් තියෙනව," යනුවෙන් පැවසූ හිටපු මන්ත්‍රීවරිය අවධාරණය කළේ, "මම බලාපොරොත්තු වෙන්නේ නෑ මගේ නායකයා වෙන කවුරුත් වෙනවට," බවය.
"සජිත් ප්‍රේමදාස මම අඳුනගෙන තියෙන්නේ හරිම සංවේදී, උදේ ඉඳල රෑ වෙනකල් වැඩ ගැන විතරක් හිතන පුද්ගලයෙක්."
'සජිත්ට ජනපති වෙන්න පුළුවන්'
අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල වේගයෙන් ඉහළ යාම සහ විදේශ විනිමය හිඟය ඇතුළු ආර්ථික අර්බුදය හමුවේ, තමන් කොතරම් අකැමති වුවත් ශ්‍රී ලංකාව "බංකොලොත් රාජ්‍යයක්" බවට පත්වීමේ තර්ජනයක් මතු වී තිබෙන බව පෙන්වාදෙන ඇය පවසන්නේ, එය වැළැක්වීම පිණිස නිසි වැඩපිළිවෙලක් මේ මොහොතේ අත්‍යවශ්‍යව තිබෙන බවය.
"කවුරුත් විශ්වකර්මයෝ නැහැ මේව නවත්තන්න හැබැයි මේකට හරි අදහස් ටිකක් තියෙන කෙලින් තීරණ ගන්න - කවුරු හරි ජාතිවාදය උස්සලා බෝඩ් උස්සගෙන කෑගහපු පලියට තීරණය පිටිපස්සට ගන්න නෙවෙයි, හරි තීරණ ගන්න අවශ්‍යයි.
"මම විශ්වාස කරනවා සජිත් ප්‍රේමදාස මහත්තය ඒ විදියේ ස්ථාවරයක හිටියොත් එතුමට ඊළඟ සැරේ ජනාධිපති ධුරය අතට ගන්න පුළුවන් වේවි කියල."
එබවින් මේ අවස්ථාවේ සැබවින්ම රටට ආදරය කරන්නේ නම් විරුද්ධ පක්ෂය ලෙස තමන් තෝරාගත යුත්තේ ජනතාව කැමති දේ නොව, "හරි දේ" බව හිරුණිකා ප්‍රේමචන්ද්‍ර වැඩිදුරටත් සඳහන් කළාය.
පහත දැක්වෙන්නේ, ඇය පළ කළ අදහස් සම්බන්ධයෙන් බීබීසී සිංහල ෆේස්බුක් ජාලය ඔස්සේ පළ වූ ප්‍රතිචාර කිහිපයකි.