අධ්‍යාපන: කොතලාවල ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාල පනත ගැන සාමාන්‍ය ජනතාව සංවේදී විය යුතුද?

Sri Lankan president Gotabaya Rajapaksa (2L) gestures as he leaves after attending an event for the swearing in of the new cabinet ministers at the historical ''Magul Maduwa''/ ''Assembly Hall'' situated at the Temple of the Sacred Tooth Relic where the ancient Sri Lankan kings met their ministers and carried out daily administrative tasks at Kandy, Sri Lanka 12 August 2020. (Photo by Tharaka Basnayaka/NurPhoto via Getty Images)

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, "ඔහු දන්නේ හමුදාව හරහා වැඩ කරවා ගන්න විතරයි.

කොතලාවල ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාල (KNDU) පනත් කෙටුම්පත යනු හමුදාව යොදා ගනිමින් ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය පුද්ගලීකරණය කිරීමට ගන්නා වූ උපක්‍රමික උත්සාහයක් බව ඊට විරුද්ධ ඇතැම් කණ්ඩායම් පවසති.

හමුදාව හෝ "රණවිරුවන්ට" ලඝු නොකොට ඒ දෙස පුළුල් අර්ථයෙන් බලන ලෙස ඔවුහු සාමාන්‍ය ජනතාවගෙන් ඉල්ලා සිටිති.

ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී ආචාර්ය හරිනි අමරසූරිය කියා සිටියේ අදාළ පනත සම්මත වුවහොත් උසස් අධ්‍යාපනය ලැබීමේ අවස්ථාව දැනටත් වඩා වරප්‍රසාදයක් බවට පත් වනු ඇති බවය.

"මෙය හමුදාව පිළිබඳ ප්‍රශ්නයක් නෙමෙයි. රටකට හමුදාවක් තිබෙනවා, ඒ හමුදාවට නිශ්චිත වගකීමක් තිබෙනවා. නමුත් හමුදාවට අයිති නැති වැඩත් තිබෙනවා. මේක හමුදාවට දෙන ගරුත්වයක් හෝ වෙන කිසියම් දෙයක් නෙමෙයි. මේ තමන්ගේ වෙන අරමුණක් සඳහා හමුදාව පාවිච්චි කිරීමක්." යනුවෙන් ඇය කියා සිටියේ BBC සිංහල සේවය වෙත අදහස් දක්වමිනි.

"මේ හමුදාවේ රණවිරුවන් වෙනුවෙන් කරන දෙයක් කියලා යමෙක් හිතනවා නම්, එහෙම දෙයක් වෙන්නේ නැහැ මෙතන."

Harini Amarasuriya

ඡායාරූප මූලාශ්‍රය, Parliament of Sri Lanka

ඡායාරූප ශීර්ෂ වැකිය, "මෙය හමුදාව පිළිබඳ ප්‍රශ්නයක් නෙමෙයි,"

අධ්‍යාපනය හෝ සෞඛ්‍ය හෝ වෙනයම් ඕනෑම ක්ෂේත්‍රයක් පිළිබඳ පුළුල් අර්ථයෙන් බලනවා වෙනුවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ දන්නේ "හමුදාව ලවා වැඩ කරවා ගැනීමට පමණක්" බවත් ආචාර්ය හරිනි අමරසූරිය පවසයි.

"ඔහු ඊට එහා දෙයක් දන්නේ නැහැ. ඔහු තාම හිතන්නේ ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් විදිහට. රටක ජනාධිපතිවරයෙක් වශයෙන් නමෙයි. ඔහු දන්නේ හමුදාව හරහා වැඩ කරවා ගන්න විතරයි."

Presentational grey line
Presentational grey line

"කාලයක් තිස්සේ මේ රටේ ආණ්ඩුවලට අවශ්‍ය වී තිබෙනවා අධ්‍යාපනය පුද්ගලීකරණය කරන්න. මේක ඒ දේ කරන්න පහසු මාර්ගයක්. හමුදාව හරහා මේ දේ කර ගන්න එක, අධ්‍යාපනය පුද්ගලීකරණය කරන්න ගත්ත උපාය මාර්ගයක්."

ආණ්ඩුවේ ප්‍රතිචාරය

මහාචාර්ය ජී.එල් පීරිස්

ඡායාරූප මූලාශ්‍රය, Parliament of Sri Lanka

ඡායාරූප ශීර්ෂ වැකිය, මහාචාර්ය ජී.එල් පීරිස්

ඒ සම්බන්ධයෙන් බ්‍රහස්පතින්දා (ජුලි 08) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් කියා සිටියේ කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය ශ්‍රී ලංකාවේ සම්ප්‍රදායික විශ්වවිද්‍යාලවලින් වෙනස් ආයතනයක් බව පළමුව අවබෝධ කර ගත යුතු බවය.

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ අනුමැතිය ඇතිව එවැනි විශ්වවිද්‍යාල අතීතයේත් ස්ථාපනය කර ඇති බව ඔහු සඳහන් කළේය.

Presentational grey line
Presentational grey line

බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය, බුද්ධ ශ්‍රාවක භික්ඛු විශ්වවිද්‍යාලය, වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලය, සාගර විශ්වවිද්‍යාලය වැනි උසස් අධ්‍යාපන ආයතන ඔහු ඊට නිදර්ශන වශයෙන් පෙන්වා දුනි.

වත්මන් ආණ්ඩුව හෙදියන් සහ ගුරුවරුන් වෙනුවෙන් ද ඒ හා සමාන විශ්වවිද්‍යාල ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බවත් මහාචාර්යවරයා පැවසීය.

විරෝධතා මර්දනය

විරෝධතාවට එක් වූවන්ගේ පවුලේ සාමාජිකයෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීම ගැන සමාජ ජාල තුළ අදහස් පළ විය
ඡායාරූප ශීර්ෂ වැකිය, විරෝධතාවට එක් වූවන්ගේ පවුලේ සාමාජිකයෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීම ගැන සමාජ ජාල තුළ අදහස් පළ විය

කොතලාවල ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාල පනත් කෙටුම්පතට එරෙහිව බ්‍රහස්පතින්දා (ජුලි 08) උද්ඝෝෂණයේ යෙදුනු ශිෂ්‍ය ව්‍යාපාර සාමාජිකයන් ඇතුළු විරෝධතාකරුවන් සම්බන්ධයෙන් පොලිසිය කටයුතු කළ ආකාරය ඇතැම් දේශපාලන පක්ෂ සහ සිවිල් සංවිධාන විසින් හෙළා දකිනු ලැබ ඇත.

ඒ සම්බන්ධයෙන් සමාජ ජාල ඔස්සේ ද විවේචන එල්ල වේ.

කොවිඩ් සහ ජීවන වියදම හමුවේ පීඩාවට පත්ව සිටින සාමාන්‍ය ජනයා ඉහත කී පනත් කෙටුම්පත සම්බන්ධයෙන් සංවේදී විය යුතුද?

"ඇත්තටම මේ කොවිඩ් වසංගතය ආරම්භ වුණාට පස්සේ තමයි අධ්‍යාපනය ලැබීම මොනතරම් අසමානතාවක් සහිතව ද වෙන්නේ කියන දේ ජනතාවට දැනුනේ," යනුවෙන් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ලේකම් පුබුදු ජාගොඩ පවසයි.

ඒ සම්බන්ධයෙන් BBC සිංහල සේවය වෙත අදහස් දක්වමින් ඔහු වැඩිදුරටත් කියා සිටියේ ශ්‍රී ලංකාව තුළ නිදහස් අධ්‍යාපනයක් ඇතැයි සිතා සිටිය ද අධ්‍යාපනය සඳහා මුදල් ගෙවීමට සිදුවන බවය.

සාමාන්‍ය ජනතාව නිදහස් අධ්‍යාපනය සඳහා රජයට බදු ගෙවුවද අධ්‍යාපනයට ප්‍රතිපාදන වෙන් වන්නේ ඉතාමත් අඩුවෙන් බව පුබුදු ජාගොඩ පෙන්වා දෙයි.

"අපි බදු ගෙව්වට රජය රටේ දරුවන්ගේ අධ්‍යාපනයේ වගකීම බාර ගන්නේ නැහැ. ඒ නිසා දරුවා පාසල් ගියාට පස්සේ බොහෝ දේ සඳහා දෙමව්පියන් වියදම් කළ යුතුයි. ත්‍යාග ප්‍රදානෝත්සවයට කියලා සල්ලි දෙන්න වෙනවා. ඉස්කෝලේ ගොඩනැගිලිවල තීන්ත ගාන්න කියලා සල්ලි දෙන්න වෙනවා. මුරකරුගේ වැටුප ගෙවන්න කියලා සල්ලි ගෙවන්න ඕනි. අලුතෙන් ළමයෙක් පාසලට ඇතුළු කරද්දී ඩෙස්ක් එකයි පුටුවයි හදාගෙන යන්න වෙනවා. ශිෂ්‍ය නායක පදක්කම් පැළඳවීම කියලා ආය ගෙවන්න වෙන්වා."

"අපි බදු ගෙව්වත් ආය ආය අපිටම පාසලට ගෙවන්න සිද්ධ වෙනවා."

එසේ අවස්ථා දෙකක දී මුදල් ගෙවීමට සිදුවී 'ටියුෂන්' ලබා දීමට තුන් වෙනි වරටත් දෙමව්පියන්ට මුදල් ගෙවීමට සිදුවන බව පුබුදු ජාගොඩ පවසයි.

"දැනටත් අපේ රටේ මිනිස්සු අධ්‍යාපනය වෙනුවෙන් තුන් පාරක් ගෙවනවා. එතකොට රජය කියද්දී අධ්‍යාපනය තවදුරටත් පුද්ගලීකරණය කරනවා, ගෙවන්න අධ්‍යාපනයට කියලා, ඒ කියන්නේ හතරවෙනි පාරටත් ගෙවන්න කියලා,"

කොවිඩ් නිසා 'කබලෙන් ලිපට'

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් පුබුදු ජාගොඩ

ඡායාරූප මූලාශ්‍රය, Frontline Socialist Party/FB

ඡායාරූප ශීර්ෂ වැකිය, " දැනටත් අපේ රටේ මිනිස්සු අධ්‍යාපනය වෙනුවෙන් තුන් පාරක් ගෙවනවා,"

කොවිඩ් හමුවේ මාර්ග ගත අධ්‍යාපනය (Online education) ලබා ගැනීමට 'ඩේටා' සහ ජංගම දුරකතන හෝ 'ටැබ්' වැනි මෙවලම් සඳහා අධික මුදලක් වැය කිරීමට දෙමව්පියන්ට සිදුව ඇති බව ඔහු කියා සිටී.

එක් පවුලක දරුවන් "දෙතුන් දෙනෙකු" සිටී නම් එක් දුරකතනයක් නොව දුරකතන කිහිපයක් අවශ්‍ය වන බවත් ඔහු පෙන්වා දෙයි.

ඒ තුළ දුගී යැයි සැලකෙන පවුල් පමණක් නොව සාමාන්‍ය මධ්‍යම පාන්තික පවුල්වලට ද දරුවන්ට අධ්‍යාපනය ලබා දීම සඳහා අධික මුදලක් වැය කිරීමට සිදුව ඇති බව ඔහු කියා සිටී.

"දැන් මේ පනත මගින් සිද්ධ වෙන්නේ ඒ අසමානතාව තවදුරටත් වැඩි කරලා දෙමව්පියන්ට සල්ලි නැති පවුල්වල දරුවන්ට විශ්වවිද්‍යාල වෙත එන්න තියන අවස්ථාව අහිමි වෙලා, ඒ වෙනුවට උසස් අධ්‍යාපනය මුදල් මත තීරණය වෙන එකක් බවට පත්වීම," පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ලේකම් පුබුදු ජාගොඩ වැඩිදුරටත් සඳහන් කළේය.