ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
කොවිඩ්: ශ්‍රී ලංකාවේ නිපැයූ බව කී ඔක්සිජන් යන්ත්‍රය ගැන "ඇත්ත කතාව"
- Author, සුනෙත් පෙරේරා
- Role, BBC සිංහල
පිරිවැය අඩු ඔක්සිජන් නිෂ්පාදන යන්ත්‍රයක් (Oxygen concentrator device) නිර්මාණය කිරීමේ උත්සාහයක නිරත තරුණ ඉංජිනේරුවන් පිරිසක් පිළිබඳ පුවත පසුගිය දිනවල සමාජ ජාල ඔස්සේ විශාල වශයෙන් හුවමාරු විය. ඒ අසල්වැසි ඉන්දියාව ඔක්සිජන් සොයා සිඟමන් යදින බවට වාර්තා පළ වෙමින් තිබූ පසුබිමකදීය. ඒ සමගම ශ්‍රී ලංකාවේ ද කෝවිඩ් රෝගීන්ගේ වර්ධනයක් පෙන්නුම් කෙරිණි.
පර්යේෂණ මට්ටමේ පවතින අදාළ යන්ත්‍රය වැඩිදියුණු කිරීමේ කටයුතු ගිය වසරේදී අතරමග ඇනහිටි නමුත් මේ වන විට එම ව්‍යාපෘතිය යළි ආරම්භ කර ඇති බව ඒ පිළිබඳ BBC සිංහල සේවය කළ සොයා බැලීමකදී දැන ගන්නට ලැබිණි.
එහි වත්මන් තත්ත්වය කුමක්ද? ඒ සඳහා රජයේ හෝ බලධාරීන්ගේ අවධානය යොමුව තිබේද? යම් හෙයකින් ශ්‍රී ලංකාව තුළත් ඔක්සිජන් හිඟයක් ඇති වුවහොත් මේ යන්ත්‍රය ප්‍රයෝජනයට ගත හැකි වේද? ඒ සම්බන්ධයෙන් පවතින සූදානම කුමක්ද? අදාළ ඉංජිනේරු කණ්ඩායම වෙනුවෙන් එහි සාමාජික දිනුක බණ්ඩාර BBC සිංහල සේවය වෙත කී කතාවයි මේ.
ලොක්ඩවුන් කාලේ රැකියාවලින් බැහැරව ඒ ලැබුණු නිදහසත් එක්ක මිනිස්සු අමුතුවට, අලුතෙන් හිතන්න පටන් ගත්තා. ඒ කාලේ විශාල වශයෙන් නව නිපැයුම්, අලුත් නිර්මාණ එළියට ආවා. ඒත් එක්ක අපිත් හිතුවා අපිට කරන්න පුළුවන් මොකක්ද කියලා. බොහෝ දෙනෙක් වෙන්ටිලේටර් මැෂින් හදන්න උත්සාහ කරමින් සිටි නිසා ඒවායේ හිඟයක් ඇති වෙන එකක් නැහැ කියලා අපි හිතුවා.
ඒත් ඉදිරියේ ඇති විය හැකි ප්‍රශ්නය මොකක්ද කියනදේ ගැන අපි හිතුවා. කොරෝනා කියන්නේ ශ්වසන පද්ධතියට බලපාන රෝගී තත්ත්වයක්. ඒ නිසා අවශ්‍ය වෙන්නේ ඔක්සිජන්. එහෙනම් කොහොමද අපි රෝහල්වල ඔක්සිජන් අවශ්‍යතාව සපුරන්නේ?
අපි ඉන්නේ බදුල්ලේ. රෝහල් පිරෙද්දි කොළඹින් ඔක්සිජන් එනකන්, ගම්බද මිනිස්සුන්ට බලන් ඉන්න සිද්ධ වෙයිද? එවැනි තත්ත්වයක් ආවොත් මේ මිනිස්සුන්ට ඔක්සිජන් නැති වෙයිද කියන ප්‍රශ්නාර්ථයත් එක්ක තමයි අපිට හිතුණේ මේ වගේ යන්ත්‍රයක් හදාගන්න තිබුණා නම් හොඳයි කියලා.
එතකොට, අපි අද මේ වෙද්දි ඉන්දියාවේ දකින අත්දැකීම ගැන අදහසක් තිබුණේ නැහැ. ඉන්දියාවේ වගේ ඔක්සිජන් නැති වෙන තත්ත්වෙකට ලෝකේ පත් වෙයි කියලා අපි කවදාවත් හිතුවේ නැහැ. ඒත් ඔක්සිජන් සැපයුමේ හිඟයක් ආවොත් මෙවැනි යන්ත්‍රයක් ප්‍රයෝජනවත් වෙයි කියලා අපි හිතුවා. ඒකයි අපි මේ වගේ නිර්මාණයක් කරන්න පෙළඹුණේ.
ඉස්කෝලේ යාලුවෝ
අපි ඔක්කොම එක ඉස්කෝලේ යාලුවෝ. බණ්ඩාරවෙල මධ්‍ය මහා විද්‍යාලයේ එක පන්තිවල ඉගෙන ගත්ත යාලුවෝ. අපි ඔක්කොම ඒලෙවල් කරලා කැම්පස් ගියා. පේරාදෙණිය, මොරටුව, රුහුණ ඉංජිනේරු පීඨවලින් අපි පිටවුණේ 2017/2018 කාලවල. ප්‍රභාත් ඒකනායක, හර්ෂප්‍රිය සංජීව, විරාජ් රත්නායක සහ මම පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ. සුපුන් මධුශංක, දිමුතු මධුෂාන් මොරටුව විශ්වවිද්‍යාලයේ, හේෂාන් වැලන්ටයින් රුහුණු විශ්වවිද්‍යාලයේ.
ලොක්ඩවුන් කාලේ ගමට ආවා, සංචරණ සීමා තිබුණ නිසා අපි ඔක්කොම කතා කළේ වට්ස්ඇප් හරහා. ඊට පස්සේ මේ සඳහා අවශ්‍ය වෛද්‍ය විද්‍යාත්මක සහය ගන්න බදුල්ල මහ රෝහලට ගිහින් අධ්‍යක්ෂතුමා හමු වුණා. පොලිසියට ගිහින් සංචරණ පාස් හදා ගත්තා. ඊට පස්සේ මුළු රටම ලොක්ඩවුන් කරලා තියෙද්දී කොළඹ ඇවිත් බඩු අරගෙන තමයි අපි වැඩේ පටන් ගත්තේ.
"රට අරුනා, අවධානය ගිලිහුනා, ව්‍යාපෘතිය නතර වුණා"
අපි ඉස්සෙල්ලම මේක හදලා ඉවර වෙන කොට, අපි තේරුම් ගත්ත විදිහට ලංකාව පළවෙනි රැල්ල පාලනය කර ගත්තා. මේ යන්ත්‍රයේ අවසන් ප්‍රතිඵලය එද්දී කොරෝනා පළවෙනි රැල්ල ඉවර වේගන යන මට්ටමේ තිබ්බේ. ඒත් එක්කම රටේ තත්ත්වය යථා තත්ත්වයට පත් වෙන්න ගත්තා, රට අරින්න පටන් ගත්තා. මිනිස්සු ජොබ්වලට යන්න පටන් ගත්තා. එතකොට රෝහල්වල රෝගීන් අඩුවෙන්න ගත්තා. අවදානම අඩු වුණා. මට හිතෙන විදිහට මිනිස්සුන්ට හිතුණා, "දැන් ප්‍රශ්නයක් නැහැ" කියලා.
මේ යන්ත්‍රය ගැන මාධ්‍ය වාර්තා පළ වුණා. ඒත් අදාළ අංශවලින් හෝ රජයෙන් ඒ ගැන නිසි අවධානයක් ලැබුණේ නැහැ. දැනට රටට ඇතිවෙන්න ඔක්සිජන් සැපයුම ඇති, ඒකනේ මේ නිර්මාණයට නිසි අවධානයක් ලැබුණේ නැත්තේ කියන කලකිරීමත් එක්ක අපි හිතුවා මේ ව්‍යාපෘතිය නතර කරන්න. අපි හැමෝම ආයත් ජොබ්වලට ගිහින් සුපුරුදු වැඩ රාජකාරීවල යෙදුණා.
මුල් අදියරේ, අවුරුද්දකට කලින් රජය මැදිහත් නොවුනට ඕනි තරම් සමාගම් හිටියා මේ නිපැයුම මුදල් දී මිලට ගන්න. ලංසු තියන්න අපිට ඕනි කමක් තිබ්බේ නැහැ, දැනටත් අපි ඒ වගේ තැනක නැහැ. මේක බෙදාගෙන අපි හරි, කොම්පැනියක් හරි සල්ලි පොදි ගහගත්තට වැඩක් නැහැ, මොකද දැන් මිනිස්සු මැරෙනවා. එතකොට වාණිජ භාණ්ඩයක් කරලා විකුණන්න වුණත් ලෝකේ මිනිස්සු ඉන්න ඕනි. ඒ නිසා විකුණන දේ පස්සට තියලා සේවයක් කරන්න පුළුවන් ද කියන තැන තමයි අපි කණ්ඩායම ඉන්නේ.
වසරකට පසු යළි මතු වූ ෆේස්බුක් පෝස්ටුව
මීට සති දෙකකට විතර උඩදී තමයි එකපාර මේක කරලියට ආවේ. ඒත් පෝස්ට් එක ෂෙයාර් වෙලා ඒ ගැන සමාජ ජාල තුළ කතා කරන්න හරියටම දවස් තුනකට හෝ හතරකට කලින්, අපේ වට්ස්ඇප් ගෘප් එකේ කතා වුණා, "ඉන්දියාවේ ඔක්සිජන් ප්‍රශ්නයක් තියෙනවා නේද, මේ වෙද්දී ලංකාවෙත් රෝගීන්ගේ වැඩිවීමක් තියනවා නේද" කියන දේ.
ඉතාලියේ දවසකට දාහක් විතර හොයාගෙන පස්සේ ඒ අය කොයිතරම් අමාරු තත්ත්වෙකට ද පත් වුණේ කියන දේ අපි දැක්කා, ඒ ගැන අපි කතා කළා. ඒ දේ දැන් ලංකාවේ සතියක් පුරා වෙනවා. මේ ගැන කතා කරන වෙලාවෙම අපි දැක්කා ඔක්සිජන් නැතුව ඉන්දියාවේ මිනිස්සු මිය යන හැටි. ප්‍රයෝගිකව උපකාරයක් කරන්න පුළුවන් ද බැයිද කියන කාරණය කෙසේ වුණත් "මෙහෙම උපකරණයකුත් අපි අතේ තිබ්බනේ, අපිට මුකුත් කරගන්න බැරි වුණානේ" කියලා ඒ එක්ක වරදකාරී හැඟීමකුත් ආවා. ඒ එක්කම තමයි මේ යන්ත්‍රය හදලා හරියටම අවුරුද්දක් වෙද්දි ඒ ගැන ආයෙ ෆේස්බුක් එකේ ෂෙයාර් වෙන්න, කතා කරන්න පටන් ගත්තේ.
ව්‍යාපෘතිය යළි පණ ගැන්වේ
ඉන්දියාවේ තත්ත්වය, මේ ව්‍යාපෘතිය ගැන යළි හිතා බලන්න හේතු වුණා. "අවට වාතයේ අපිට හුස්ම ගන්න ඔක්සිජන් ඕනි තරම් තිබිලත් ඒක නැතුවනේද දැන් මේ මිනිස්සු මැරෙන්නේ," එහෙමයි අපි කතා වුණේ. ඒ එක්කම අවුරුද්දකට කලින් දාපු පෝස්ට් එක දවස් තුනක් ඇතුළත හිතා ගන්න බැරි තරම් ෂෙයාර් වෙලා තිබුණා. දේශපාලනඥයොත් ෂෙයාර් කරලා තියනවා අපි දැක්කා. ඒ එක්කම අපේ කණ්ඩාම මේ ගැන ආපහු කතා කරන්න ගත්තා. ඒ එක්කම තමයි ලංකාවෙත් එක පාරම රෝගීන් අටසීයක් විතර වාර්තා වුණේ. ඊට පස්සේ දාහා වෙන්න ගත්තා. එන්න එන්න අවුල් යනවා කියන දේ අපිත් කතා වෙන්න ගත්තා. "අපි මොකක් හරි කරන්න ඕනි... මොකක් හරි කරන්න ඕනි..." කියන දේ හිතට ආවා. අපේ මේ උපකරණය තව ඉදිරියට ගෙනගිහින් තවත් වැඩිදියුණු කරලා මිනිස්සු අතට දෙන්න දැන් වැඩ කරගෙන යනවා.
අලුත් වැඩ බිමක්
අපි කලින් වැඩ කළේ බණ්ඩාරවෙල, අපේ යාලුවෙකුගේ ගෙදරක ඉඳන්. බණ්ඩාරවෙල, කුරුණෑගල ඇරුණුකොට අපේ වැඩි දෙනෙක් රැකියා කරන්නේ කොළඹ. දැනට තියෙන මොඩල්ස් ටිකේ වැඩ ගොඩක් දුරට ඉවරයි. දැන් අපට ප්‍රධාන වශයෙන් ප්‍රශ්න කීපයක් තිබෙනවා. එකක් අපිට මේකට අවශ්‍ය අමුද්‍රව්‍යක් තිබෙනවා සියොලයිට් කියලා, ඒ අමුද්‍රව්‍ය වර්ගය අපිට නැහැ. ඒක හොයා ගන්න ඕනි. ඒත් ලංකාවේ ඒ වර්ගය නැහැ.
ඊළඟට ඔක්සිජන් සාන්ද්‍රණය මණින උපකරණයක් සොයා ගන්න අවශ්‍යයි. ඒකත් ලංකාවේ හුඟක් අඩුවෙන් පාවිච්චි වෙන්නේ. මේ යන්ත්‍රය වැඩිදියුණු කරන්න එය නිතරම අවශ්‍ය වෙන උපකරණයක්.
වැඩි දෙනෙක් කොළඹ ඉන්න නිසා අපිට ගොඩක්ම උවමනා වෙලා තියනවා අපි හැමෝටම වැඩ කරන්න පුළුවන් වර්ක්ෂොප් එකක්... පොඩි වැඩ බිමක්.
පිරිවැය
අපි පළවෙනි යන්ත්‍රය හැදුවේ මිනිස්සු 05 දෙනෙකුට එකවර ඔක්සිජන් ලබා දිය හැකි විදිහට. ඒකට අපිට රුපියල් 75,000 -100,000 අතර මුදලක් ගියා. ඒ සඳහා අවශ්‍ය ද්‍රව්‍ය අපි එහෙන් මෙහෙන් ඉල්ල ගත්ත නිසා මුදල් වැය වුණේ අඩුවෙන්. දැනට මේ වගේ ඔක්සිජන් නිපදවන මැෂින් ලෝකේ තිබෙනවා. ඒ එක් යන්ත්‍රයක් ලංකාවට ගෙන්වන්න අඩුම තරමේ රුපියල් 200,000 වත් වැය වෙනවා කියලා තමයි වෛද්‍යවරු කියන්නේ. ඒත් එවැනි යන්ත්‍රයකින් එකවරකට ඔක්සිජන් ලබා දෙන්න පුළුවන් 01 පුද්ගලයෙකුට විතරයි.
නමුත් අපි ඇස්තමේන්තු කරලා තියන විදිහට රුපියල් 100,000 හෝ 150,000 ඇතුළත මුදලකින් අපිට පුළුවන් පස් දෙනෙකුට එකවර ඔක්සිජන් ලබා දෙන්න. ඊළඟට අපි බලාපොරොත්තු වෙනවා රෝගීන් 15 දෙනෙකුට ඔක්සිජන් ලබා දීමේ හැකියාව තිබෙන යන්ත්‍රයක් දක්වා එය වැඩිදියුණු කරන්න. අපි ඒ සඳහා ඇස්තමේන්තු කර තිබෙන මුදල 500,000 විතර. අමුද්‍රව්‍ය ලැබුණොත් සති දෙකක් ඇතුළත මේක හදලා ඉවර කරනවා කියන ඉලක්කය තුළ තමයි අපි ඉන්නේ. ඒ සඳහා උපරිමයෙන් මහන්සි වෙන්න බලාපොරොත්තු වෙනවා.
ඔක්සිජන් 'හදන' හැටි
තාක්ෂණික පැත්ත කතා කළොත්, අපි දන්නවා වාතයේ ඔක්සිජන් සාන්ද්‍රණය 21% විතර තියෙන්නේ කියලා. ඉතුරු 79% අනෙකුත් වායු. එතකොට අපිට පුළුවන් නම් එතනින් අනෙක් වායු ටික අයින් කර ගන්න විශේෂයෙන් නයිට්‍රජන් වායුව, එතකොට අපිට සාමාන්‍යයෙන් 90% ක් 95%ක් වෙනකම් සාන්ද්‍රණය ගන්න පුළුවන්. ඒ වගේම මේකේ වැදගත්ම කාරණය තමයි: දැනට තියන ඔක්සිජන් සිලින්ඩර්වල, 100% ක් ඔක්සිජන් සාන්ද්‍රණය නැහැ. ලංකාවේ දැනට තියෙන්නේ උපරිමය 95%. අපේ පළමු යන්ත්‍රයේ 80% සාන්ද්‍රණයක් තියෙන ඔක්සිජන් හම්බ වුණා. අපිට ඒක උපරිම මට්ටමට ගෙන එන්න (ඔප්ටිමයිස්) බැරි වුණා. එකට හේතුව අර කලින් කියපු ඔක්සිජන් සාන්ද්‍රණය මැන බලන උපකරණය නොමැතිකම. 80% ක් හරි තියන එකක් හදනවා කියන්නේ මේ වෙලාවේ හැටියට ලොකු ජයග්‍රහණයක්. 95% ඔක්සිජන් සිලින්ඩරයක් රෝහලකට ගෙනාවත් වාතයත් එක්ක මිශ්‍ර කරලා තමයි වෛද්‍යවරු රෝගීන්ට දෙන්න බලන්නේ. 85%-95% අතරේ සාන්ද්‍රණයක් ලබා ගන්න තමයි අපේ උත්සාහය.
බලධාරීන්ගේ අවධානය
මේ වෙද්දි යුද හමුදාවේ රිසර්ච් ඇන්ඩ් ඩිවලොප්මන්ට් යුනිට් එක (පර්යේෂණ සහ සංවර්ධන ඒකකය) අපිට කතා කර තිබෙනවා. අපිට උදව් කරන්න සූදානම් කියලා ඔවුන් කිව්වා. සමාගමක් එක්ක වැඩ කරනවට වඩා, ඒ කණ්ඩායම එක්ක වැඩ කරන එක හොඳයි කියලා අපි හිතුවා, මොකද අපිට තනියම මේක කරන්න බැරි නිසා. ඒ වගේම මේ වෙද්දි යම් පිරිසක් ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වෙලා තියෙනවා අපිට උදව් කරන්න.
මේ ගැනත් කියවන්න: