පාස්කු ප්‍රහාරය: "ශ්‍රී ලංකාවේ ඔක්කොම විනාඩි පහයි මතක, පාස්කු ප්‍රහාරයත් ඒ වගේ"

"හැමදාම හිසට තියන කොට්ටය උදේ අව්වට දානවා. ඒක කඳුළු වලින් තෙත් වෙනවා රෑ පුරාවට. මට රාත්‍රිය එළිවෙනකන් අදටත් නින්දක් නැහැ. මතක් වෙනවා මගේ දරුවෝ. ඒ දරුවන්ගේ දරුවෝ. මේ ගෙදර මම දැන් තනි වෙලා. කෑමක් බිමක් හදන්නවත් හිත දෙන්නේ නැහැ. කවුරු වෙනුවෙන්ද මේවා කරන්නේ කියල හිතෙනවා. මගේ පවුලේ හත් දෙනෙක් බෝම්බෙට බිලිවුණා" යැයි කටාන කටුවාපිටිය ශාන්ත ජූඩ් මාවතේ පදිංචි එච් .ඩී තෙරේසා පීරිස් (67) බීබීසී සිංහල සේවය සමඟ පැවසුවේ කඳුළින් බර වූ නෙතිනි.
2019 අප්‍රේල් 21 වැනිදා උදෑසන හතයි තිහට පමණ තෙරේසා ගේ දියණිය සිය දරුවන් තිදෙනා ද සමඟ පාස්කු මංගල්‍ය පුජාවට සහභාගී වීමේ අරමුණින් පෙනෙන මානයේ වූ කටුවාපිටිය දේවස්ථානය කරා ගියේ යළි නොඑන බව නොදැන ය.
''දුව ජීවත්වුණේ මගේ ගෙදර. එදා ඇවිදගෙන පල්ලිගිය ඒ ගොල්ලෝ නැවත ගෙදර අවේ මිනී පෙට්ටිවල. එයාගේ සැමියාට එදා උදේ පුජාවට යන්න වුණේ නැහැ. ඒ නිසා ජීවිතය බේරුණා. එත් ඒ දරුවා ත් දැන් මේ ගෙදරටවත් එන්නේ නැහැ. ඇවිත් කොහොම ඉන්නද?"
"මගේ පවුලටම ශක්තියක් වුණේ මගේ ලොකු පුතා. එයා, එයාගේ බිරිඳ දරුවන් දෙදෙනා එක්ක එදා පුජාවට ගියා. පුතයි දරුවෝ දෙන්නයි බෝම්බයට බිලි වුණා. ඒ දුව විතරක් බේරුණා. එයා දැන් මේ ගෙවල් අතහැර දාල ගිහින් නෑයෙකුගේ ගෙදරක ජිවත් වෙනවා. ඇත්තටම මේ දරුවෝ, දරු මුණුබුරන් තමයි මගේ ජීවිතය. ඔවුන් තමයි මාව බලාගත්තේත්. මේ ගෙවල් දෙකම දැන් සොහොන් පිට්ටනි වගේ පාලුවට ගිහින්," යැයි තෙරේසා පීරිස් කදුළු පිසදමමින් පැවසුවාය.

තෙරේසා පිරිස්ගේ දියණිය වන තිස්පස් හැවිරිදි වූ රසිකා දිල්රුක්ෂි , මිණිබිරියන් දෙදෙනා වූ දාහතර හැවිරිදි හෂිනි ප්‍රවිෂා, නව හැවිරිදි ශලොමි හිමායා සහ මුණුබුරු හත් හැවිරිදි ශලොම් සතිෂ්ක කටුවාපිටිය දේවස්ථානයට එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරයෙන් ජිවිතක්ෂයට පත්වූහ. එසේම ඇගේ වැඩිමහල් පුත්‍රයා වන ජූඩ් මාවතේ ම පදිංචිව සිටි හතලිස් හත් හැවිරිදි දුලිප් ශාන්ත කුමාර, ඔහුගේ දියණිය වන විසිඑක් හැවිරිදි රජිනි විනූරා සහ දහසය හැවිරිදි විමුක්ති චතුරංග, තෙරේසා ගේ පවුලේ මියගිය අනෙකුත් සාමාජිකයෝ වෙති.
"ගෝඨාභය ජනාධිපතිතුමා බලයට එන්න කලින් කිව්වනේ මේකට සාධාරණයක් කොයි වෙලාවක හරි ඉෂ්ඨ කරනවා කියල. මම පත්තර අරං තියලා තියෙනවා එතුමා කියපුව. දැන් ඔක්කොමලා අල්ලාගෙන තියෙන්නේ, මහ මොළ කාරයත් අල්ලගත්ත කියනවා. එහෙනම් කෝ ඉතිං ඒ අයට නීතිය ක්‍රියාත්මක කරනවා ද? අපිට සාධාරණයක් වුණේ නැහැ. කටුවපිටිය ජනතාව බලාගෙන ඉන්නවා අවරුදු දෙකක් කිට්ටුවෙන්න ආව මොකක්ද කරන සාධාරණය කියලා" යැයි තෙරේසා තවදුරටත් පැවසුවාය.

කටුවාපිටිය දේවස්ථානයට එල්ලවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් 104 දෙනෙකු මිය ගිය බවට වාර්තා පළවූ අතර ඒ අතරින් මියගිය හතලිස් තුන් දෙනෙකුගේ සිරුරු මිහිදන් කෙරුණේ කටුවාපිටිය පිහිටි සුසාන භූමියකය. කටුවාපිටිය, කටාන, දිවුලපිටිය ආදී ප්‍රදේශ ගණනාවක කතෝලික බැතිමතුන් ප්‍රහාරය එල්ලවූ දින දේවස්ථානයට පැමිණ සිටි අතර ඇතැමුන්ගේ සිරුරු හඳුනා ගැනීමට නොහැකි පරිද්දෙන් විනාශවී තිබු බව ද ප්‍රදේශවාසීන් පැවසීය.
ප්‍රහාරය හමුවේ කම්පනයට ලක්වීම, අස්ථි බිඳීම් හා බරපතල තුවාල ලැබීම්වලින් පීඩා විඳින පිරිස් කටුවාපිටිය හා ඒ ආසන්න ප්‍රදේශවල අදටත් ජිවත්වන අතර තිස්හය හැවිරිදි තිළිනා හර්ෂනී ද එවන්නිය කි.

ඇය පදිංචිව සිටින්නේ කටුවාපිටිය කතෝලික දේවස්ථානයට පිවිසෙන සාන්ත සෙබස්තියන් මාවතේය. කොඳු ඇටපෙළ බිඳීමකට ලක්ව ශල්‍යකර්මයකට භාජනය කර සිටින හර්ෂනී මාස 14 ක් රෝහල්ගතව ප්‍රතිකාර ලබාගැනීමෙන් අනතුරුව දැන් නිවසේ ප්‍රතිකාර ලබමින් සිටින්නීය. මිගමුව විවිධ සේවා සමුපකාරයේ ගිණුම් අංශයේ සේවය කළ ඇය තිදරු මවකි.
ඇය තම වැඩිමහල් දියණිය වන එකොළොස් හැවිරිදි ලයාරා පුබුදුලී, එවක අවරුදු 6 යි මාස පහක් වූ වැඩිමහල් පුතු දුලෝද් ප්‍රේමින සහ බාල පුතු සිව් හැවිරිදි දයෝද් කියෝෂ් හා තම මව සමග පාස්කු මංගල්‍ය සදහා දේවස්ථානයට ගොස් සිටියාය. බෝම්බකරු දේවස්ථානයට ඇතුළුවූ වම් දොරටුව ආසන්නයේ අසුන්ගෙන සිටි ඇය ඇතුළු පිරිස දැඩි කම්පනයකට ලක්වන විශාල ශබ්දයක් සමගින් පිපිරීමක් සිදුවූ බව හර්ෂනී පැවසීය.

''පුජාව අවසන් වෙලා සුරෝලය (දේව ප්‍රතිමාව සහිත පෙරහැර) පිටත්ව යන්න කලින් මගේ අතේ ගැටගහල තිබුණ පාස්කු නූල ගැලවුණා. ඊට පස්සේ ඒක මම නැවත ගැටගහගන්න මගේ ලොකු පුතා ඔඩොක්කුවට ගත්ත. එයා ඔඩොක්කුවේ තියාගෙන මම නූල නැවත ගැටගැහුවේ. එතකොටම විශාල ශබ්දයක් පිටවුණා. නැවත නැවත ඇහුන ඒ ශබ්දය. එතකොට මට දැනුණා මගේ වම් ඇහෙන් වතුර ගලනවා වගේ. මගේ අත් දෙක කකුල් දෙක පණ නැතිව ගියා. මම එතැනම වැටුණා," යැයි ඇය එම අමිහිරි මතකයන් ආවර්ජනය කරමින් පැවසීය.
"මිනිස්සු කෑගහන දේවල් වලින් දැන ගත්ත බෝම්බයක් පිපිරිලා කියල. මගේ අම්මට සුළු තුවාල සිදුවෙලා තිබුණා. දුව නැගිටලා තිබුණා. එයාගේ බෙල්ලට තුවාල වෙලා තිබුණා. පස්සේ මගේ අම්ම අනිත් දරුවන් දෙන්න හොයල තිබුණා. මගේ අතේ හිටපු වැඩිමහල් පුතා මිය ගිහින් කියල අම්මට දැනිල තිබුණා. ඊට පස්සේ පොඩි පුතා හොයද්දි එයා වැටිලා ඉද්දි අම්ම නැගිටවල තිබුණා. ඊට පස්සේ තමයි අම්ම මං ළඟට ඇවිත් බලල තිබුණේ. මං හුස්ම ගන්නවා කියල අම්ම දැනගෙන වටේ හිටපු අයගෙන් උදව් ඇතිව මාව මිගමුව රෝහලට ඇතුළත් කර තිබුණා ත්‍රිවිල් එකකින්."
"මම නැවත ගෙදර ආවේ මාස 14 කට පසුව ජුනි 19 වැනිදා. ඒ එන්න ළංවෙද්දි තමයි මම දැන ගත්තේ මගේ ලොකු පුතා නැතිවෙලා කියල. මට ඒක දරා ගන්න අමාරුවුණා. මොකද එයා අවසන් වෙලාවේ හිටියේ මං ළඟ. එයා කඳාන අලුත් පාසලේ දෙවැනි පංතියට ඇතුළු කරා විතරයි එතකොට''
තිළිනා හර්ෂනී මාස 14 ක් මීගමුව මූලික රෝහලේ ප්‍රතිකාර ලබා තිබු අතර එම ප්‍රතිකාර කටයුතු සඳහා කතෝලික ප්‍රජාව මූලික වී ක්‍රියාත්මකවන සෙත්සරණ ආයතනය උදව් උපකාර කල බව ද ඇයට නිවසේ නවාතැන් ගැනීමට වෙනම කොටසක් ඉදිකර දීමට හා ප්‍රතිකාර සදහා පහසුකම් ලබා දීමට පරිත්‍යාගශිලින් කටයුතු කළ බව ද ඇය පැවසුවාය.
තම දරුවා අහිමිව තමන් ද ඇඳකට සීමා කළ රෝගියෙකු බවට පත් කළ මේ අපරාධයේ වරදකරුවන්ට දඬුවම් කිරීමට රජය අපොහොසත්වීම පිළිබඳව හර්ෂනී කනස්සල්ලෙනි.
''මේ රජයෙන් සාධාරණයක් ඉෂ්ටවෙයි කියන බලාපොරොත්තුවෙන් මිනිස්සු රජයට බලයට එන්න සහය දුන්නා. ගිය අවුරුද්දේ අප්‍රේල් 21 වෙන්න කලින් සාධාරණය ඉටුකරනවා කියල කිව්වා. දැන් මේ අවුරුද්දේ අප්‍රේල් 21 ත් ඇවිත් තියෙනවා. වචනයක් පමණයි. ක්‍රියාවක් නැහැ. සාධාරණයක් අපි දකින්නේ නැහැ. හැමෝම කරන්නේ තමන්ගේ වැරදි අනුන් පිට පටවලා එයාලා නිදහස් වෙන එක," යැයි ඇය පැවසීය.
"අඩුම තරමේ පාස්කු කොමිසමේ වාර්තාවට අනුවවත් ඒ අය ක්‍රියාමාර්ග ගන්නේ නැහැ. නම් වශයෙන් සඳහන් කරන පුද්ගලයින්වත් ඒ අය අධිකරණයට ගෙනල්ලා දඬුවම් කරන්නේ නැහැ. අපි පල්ලි ගියේ වඳින්න. හැබැයි මේ අපරාධය සිද්ධ වෙනවා කියල ඉහළ නිලධාරීන් මැති ඇමතිවරුන් දැන දැන ඉඳළත් ඒක වලක්වන්න ක්‍රියාමාර්ගයක් ගත්තේ නැහැ. අපි කියන්නේ මේකට ගෑවිච්ච හැමෝම නීතිය ඉදිරියට ගෙනැල්ල දඬුවම් කරන්න. ආයේ මේ වගේ දෙයක් නොවෙන්න''.
දිවි බේරුණු, තිළිනා හර්ෂනී ගේ බාල පුත්‍රයා මේ සියල්ල දෙස නිසොල්මනේ අසල පුටුවක වාඩිවී බලා සිටියත් අපත් සමඟ එකදු වචනයක් හෝ කතා නොකිරීමට ඔහු වග බලාගත්තේය.
කටුවාපිටිය ජූඩ් මාවතේ දෙවැනි පටුමගේ පදිංචි ජූඩ් ප්‍රසාද් අප්පුහාමි (43) එදින දේවස්ථානයේ මංගල්‍යට සහභාගී වී සිටියේ සිය බිරිය හා දියණියන් දෙදෙනා සමගයි. වසරක් පාසා මංගල්‍යයේ වීදි සංචාරය වෙනුවෙන් වාහන සුරුවම සුදානම් කරන ජූඩ්, පවුලේ උදවිය දේවස්ථාන පරිශ්‍රයේ සිටියදී පිටතට පැමිණ ලැගුම් ගෙය අසල සුරුවම් රථය නවතා සැරසිලි කටයුතුවල යෙදිණි.
බෝම්බය පුපුරා ගොස් තිබුණේ ඒ අතරතුරයි.

''මගේ පොඩි දුවයි බිරිඳයි හිටියේ පොඩි පල්ලියේ. නමුත් ලොකු දුව හිටියේ ලොකු පල්ලියේ. එයා තමයි එදා පල්ලියේ යාඤාව කියෙව්වේ. ඒක කියවලා අල්තාරය ඉදිරිපිටම බංකුවක වාඩි වෙලා හිටියා. බෝම්බය පිපිරෙනකොට එයා හිටියේ ඒ ආසන්නයේ. වාසනාවකට ළමයාගේ ජිවිතයට හානියක් වුණේ නැහැ. හැබැයි අදටත් දුවගේ කන ඇහෙන්නේ නැහැ. අපි දෙයක් කියපුවහම එයා ඇඟිල්ලෙන් කන හොල්ලලා ඒක නැවත අහගන්නවා. මේවා අපිට විඳින්න පුළුවන් දේවල්ද? දුව අවරුදු 20 ක ගැහැණු දරුවෙක්. අපේ කාලය දැන් ඉවර නමුත් මේ දරුවන් තවම ජීවිතය පටන් ගත්තා විතරයි," යනුවෙන් ජූඩ් බීබීසී සිංහල සේවයට කියා සිටියේය.
"අපි කියන්නේ වරද කරපු අයට නිසි දඬුවම් දෙන්න කියල. ඒ කියන්නේ උසාවි දාන්න කියල නෙමෙයි එල්ලලා මරන්න කියල අපි කියන්නේ. ඒ තරම් අපිට වේදනාවයි."

කටුවාපිටිය මෙන්ම රටේ විවිධ ප්‍රදේශ වල විශාල පිරිසක් මෙසේ යුක්තිය අයැද සිටින්නේ වසර දෙකක් ගතවී ඇතත් තවමත් සාධාරණය ඉල්ලා ඔවුන් ලතැවෙන බැවිනි. 21ක් හැවිරිදි වත්තල ඔලියමුල්ලේ පදිංචි ග්ලෝරියා ජෝර්ජ් කොළඹ කොච්චිකඩේ දේවස්ථානයට එල්ල වූ බෝම්බ ප්‍රහාරයෙන් තුවාල ලැබුවා පමණක් නොව ඇයට සිය පියා ද අහිමි විය.

''යුක්තිය ඉටු උනත් නැතත් මගේ තාත්තව මට ලැබෙන්නේ නෑ. නමුත් එයා මැරුණේ අනතුරකින් නෙමෙයි. ඒක මිනීමැරීමක්. ඒ නිසා මට දැනගන්න ඕනා මගේ තාත්තව ඇයි මැරුවේ කියලා. ඒ වෙනුවෙන් මම නැගී සිටිනවා. මාත් එක්ක හැමෝම එකට හිටගන්න. මේ වගේ දෙයක් ආපහු වෙන්න හොඳ නෑ. මගේ හොඳම යාළුවා වෙච්ච මගේ තාත්තව නැති පාඩුව වචන වලින් කියලා නිම කරන්න බෑ. අද අම්මා හුගක් දුක් විඳිනවා නංගිටයි මටයි උගන්නන්න, කන්න බොන්න දෙන්න,'' යනුවෙන් ග්ලෝරියා ජෝර්ජ් පැවසීය.
''ත්‍රස්තවාදීන්ට පුළුවන් වුණා මගේ තාත්තාව නැති කරන්න. මටයි, මගේ නංගිටයි තුවාල කරන්න. ඒත් ඒ අයට බැරි වුණා මගේ සිහිනය විනාශ කරන්න. අපේ ශ්‍රී ලංකාවේ ඔක්කොම විනාඩි පහයි මතක. යමක් වුණ ගමන් ඒ ගැන හැමෝම කතා කරනවා. ඒත් ඊට පස්සේ ඒ ගැන මතක නෑ. පාස්කු ප්‍රහාරයත් ඒ වගේ. ඒ දවස්වල මාස තුන හතරක් වින්දිතයන් එක්ක කතා කළා. ඊට පසුව ඒක අමතකයි.ඒක එහෙම වෙන්න හොඳ නෑ. මම විතරයි දන්නේ මගේ තාත්තා නැති වේදනාව. ඒක වෙන කාටවත් තේරුම් ගන්න බෑ.''








