ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
පාස්කු ප්‍රහාරය: 'මාවනැල්ලේ තස්ලිම්' සහරාන්ට එරෙහි ආරක්ෂක මෙහෙයුම්වලට සහය දුන් හැටි
- Author, ෂර්ලි උපුල් කුමාර
- Role, බීබීසී සිංහල
පාස්කු ඉරු දින බෝම්බ ප්‍රහාර එල්ල කිරීමට පෙර සිටම සහරාන් ඇතුළු කණ්ඩායම ජාතික ආරක්ෂාවට තර්ජනයක් විය හැකි බව හඳුනාගත් සියලු ජාතීන්ට අයත් සිවිල් පුරවැසියන් ආරක්ෂක අංශ වලට සහය වූ බව නොරහසකි. මාවනැල්ලේ, මොහොමඩ් රාසික් මොහොමඩ් තස්ලිම් ද ඒ අතර සිටි තරුණයෙකි.
වනතවිල්ලුවේ පුපුරණ ද්‍රව්‍ය සොයා ගැනීමට සහ බුද්ධ ප්‍රතිමා කැඩීමට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා තස්ලිම් සිය ජීවිත අවදානම නොතකා ආරක්ෂක අංශ වෙතසහය දෙන ලදී. ඉන් කුපිත වූ සහරාන්, සිය සැලසුම් අවුල් කරන තස්ලිම් වෙඩි තබා ඝාතනය කිරීමට සිය සගයන් යෙදවීය. 2019 මාර්තු 09 වැනි දින තස්ලිම්ගේ හිසට වෙඩි තබා තිබුණේ ඔහු නිවසේ නිදා සිටියදීය. වෙඩි ප්‍රහාරයට ලක්වීමෙන් පසු මහනුවර රෝහලට ඇතුළත් කෙරුණු තස්ලිම් දින 20ක් සිහිසුන්ව සිටියේය.
2019 මාර්තු 27 වැනි දින පානදුර, පරත්ත පාරේ පිහිටි නිවසක පැවති සාකච්ඡාවකදී සහරාන් විසින් තස්ලීම්ගේ නම සඳහන් කරනු ලැබ තිබිණි. එදින පැවති රැස්වීමේ තොරතුරු කවුරුන් හෝ හෙළිදරවු කළොත් ඔවුන්ට වවුනතිවු හිදී මියගිය පොලිස් නිලධාරීන් දෙදෙනාට සහ මාවනැල්ලේ තස්ලිම්ට අත් වූ ඉරණම අත්වන බවට අනතුරු අඟවමින් සහරාන් අදාළ සාකච්ඡාව අවසන් කර තිබිණි.
වෙඩි වැදීමෙන් අනතුරුව තස්ලිම් රැකියාවක් කළ නොහැකි තත්ත්වයට පත් වී තිබේ. එමෙන්ම ආරක්ෂක හේතුන් මත ඔහුගේ සංචරණය ද සීමා කර ඇත. පැය 24 පුරා පොලිස් ආරක්ෂාව මැද ජීවත් වන තමන්ට දැන් අවසර ඇත්තේ සිකුරාදා පල්ලියට සහ රෝහලට යෑමට පමණක් බව තස්ලීම් කියා සිටියේය.
''ආරක්ෂාව දීලා තියෙනවා. මම නිවාස අඩස්සියේ ඉන්නවා වගේ දැනෙන්නේ. වතුර නැති වෙලාවක ගෙදරට මීටර් 50ක් විතර දුරින් තියෙන ඔයට ගිහින් නා ගන්නවත් අවසරයක් නෑ. ඒ දවස්වලට නාන්නේත් නැතුව ඉන්නේ. එහෙම දුෂ්කර ජීවිතයක් ගත කරන්නේ.'' යනුවෙන් තස්ලිම් සිය අත්දැකීම් විස්තර කළේය.
''සියලු ජාතීන්ට අයත් හිතහොඳ ජනතාවගේ පිහිට පමණයි මට මේ දක්වා ලැබුණේ''
මේ වන විට අදායම් මාර්ගයක් නොමැති වීම නිසා ඔහුට පරිත්‍යාගශිලීන්ගේ උපකාර ලැබේ. වසර දෙකකට ආසන්න කාලයක් තමන්, බිරිඳ සහ දරුවන් පෝෂණය කිරීම ගැන තස්ලිම් සිය හිතවතුන්ට කෘතවේදීත්වය පළ කළේය.
''හරිම අමාරුවෙන් ජීවත් වෙන්නේ. ප්‍රදේශයේ සිංහල, මුස්ලිම් දන්න හඳුනන අයගෙන් මම ඉල්ලා ගන්නවා. සියලු ජාතීන්ට අයත් හිතහොඳ ජනතාවගේ පිහිට පමණයි මට මේ දක්වා ලැබුණේ. කොරෝනා නිසා ඒ අයටත් අමාරුයි. ඒත් අපිව තනි නොකිරීම ගැන සතුටුයි. මම රජයෙන් ඉල්ලන්නේ මට ස්ථිර මාසික අදායමක් ලැබෙන ක්‍රමයක් හදලා දෙන්න කියලා.'' යනුවෙන් තස්ලිම් සුසුමක් පිට කළේය.
තස්ලිම් වෙඩි ප්‍රහාරයට ලක්වූ නිවසේ ජීවත් වීමට බිරිඳ සහ දරුවන් බියක් දක්වයි. එබැවින් ඔහු වෙනුවෙන් නව ඉඩමක් මිලදීගෙන එහි නව නිවසක් ඉදිකර දීමට පරිත්‍යාගශීලීන් දැනටමත් ක්‍රියා කර අවසන්ය. කෙසේ වෙතත් එම නිවසේ වැඩ තවමත් අවසන් නැත. තස්ලිම් දැන් සිය පවුලේ සාමාජිකයන් සමග නව නිවසේ ජීවත් වේ.
ආරක්ෂක අංශවලට සහය දුන් අයුරු
මොහොමඩ් රාසික් මොහොමඩ් තස්ලිම් සමාජ ක්‍රියාකාරිකයෙකි. එමෙන්ම ඔහු එවක එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයෙකු වූ මේ වන විට සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස ක්‍රියා කරන කබීර් හෂීම් සමග ක්‍රියාකාරී දේශපාලනයේ නිරත වූයේ ඔහුගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකු ද වෙමිනි.
''දෙමළ සහ සිංහල භාෂා දෙකම කතා කරන මුස්ලිම් කෙනෙක්ව ආරක්ෂක අංශ වලට අවශ්‍යවෙලා තිබුණ. මුස්ලිම් ලේකම්වරු හය දෙනෙක් හිටියට කබීර් ඇමතිතුමා මාව තමයි ඒකට තෝරගත්තේ. ඒ ගැන අදටත් මම සතුටු වෙනවා.'' යනුවෙන් තස්ලිම් පැවසුවේය.
''ආරක්ෂක අංශවලට සහය දෙන අතරතුර දුරකතන සංවාද වලින් හෙළි වුණා පුත්තලම, වනාතවිල්ලුවේ තරුණයෙක් මේ සිද්ධියට සම්බන්ධයි කියලා. ආරක්ෂක අංශ මගෙන් ඇහුවා වනතවිල්ලුවේ යන්න එනවද කියලා. ඒ ගිය වෙලාවේ තමයි පුපුරණ ද්‍රව්‍ය ගොඩක් හොයාගත්තේ. ඒක සහරාන්ලට ලොකු අවාසියක් වුණා.''
''ඊට පස්සේ සහරාන් කිව්වලු එළියෙන් එන විරෝධයට කලින් අපේ ඇතුළෙන් එන විරෝධය ඉවර කරලා ඉන්න ඕනා කියලා. ඒ අනුව තමයි ඉස්සෙල්ලා තස්ලිම්ව මරන්න කියලා තිබුණේ.'' යනුවෙන් ඔහු කියා සිටියේය.
2019 ජනවාරි මාසයේ වනාතවිල්ලුවේදී රහස් පොලීසිය පුපුරණ ද්‍රව්‍ය සොයා ගන්නා ලදී. එහිදී තස්ලිම් රහස් පොලිසිය සමග භාෂා පරිවර්තයෙකු ලෙස කටයුතු කර ඇති බව පාස්කු ඉරු දින ප්‍රහාරය සන්බන්ධයෙන් සොයා බැලූ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ සඳහන් වේ.
මේ වන විට තස්ලිම් මාවනැල්ල රෝහලෙන් ප්‍රතිකාර ලබා ගන්නා අතර ඔහුට එක්සත් රාජධානියට ගොස් වැඩිදුර ප්‍රතිකාර ලබා ගැනීම සඳහා රජය මුල්‍යාධාර සහ ආරක්ෂාව සැපයිය යුතු බව පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලු ජනාධිපති කොමිසම නිර්දේශ කර ඇත. එම නිර්දේශය කඩිනමින් ක්‍රියාත්මක කරන ලෙස තස්ලිම් ඉල්ලා සිටී. මේ අතර පාස්කු කොමිෂන් සභාවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ අමාත්‍ය අනු කමිටුව ද එම නිර්දේශය ක්‍රියාත්මක කිරීමට අනුමත කර ඇතැයි මාධ්‍ය වාර්තා කර ඇත.
තස්ලිම්ගේ ආරක්ෂාව මෙන්ම සෞඛ්‍ය පහසුකම් හා අනෙකුත් අවශ්‍යතා සපුරාලීමට රජය ක්‍රියා කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර බීබීසී සිංහල සේවය සමග කළ සාකච්ඡාවකදී ප්‍රකාශ කළේය.
''රටක් හැටියට ගත්තොත් අපි කෙළෙහිගුණ දන්නා ජාතියක් ලෙස මමත් පිළිගන්නවා එතුමාට ඒ අවශ්‍ය කරන ආරක්ෂාව වගේම අනෙකුත් පහසුකම් ලබා දිය යුතුයි කියලා, ඔහු සම්පුර්ණයෙන්ම සුවය ලබන තෙක්. අපි ඉදිරියේදී එතුමාට සහනයක් ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. එතුමා කරපු කැපවීම අපි අමතක කරන්නේ නෑ.'' යනුවෙන් අමාත්‍යවරයා කියා සිටියේය.
''මට ගෙදරින් එළියට බහින්න ඕනා''
''මට පොදු කටයුතු වලට කලින්ට වැඩිය ආරාධනා ලැබෙනවා. ඒත් මාවනැල්ල පොලිස් වසම තුළවත් මළ ගෙයකට, මගුල් ගෙයකට යන්න අවසර නෑ. දේශපාලන නොවන පොදු කටයුතුවලට යන්න මට අවසර ඕනා. මම නිවාස අඩස්සියේ ඉන්නවා වගේ හැඟීමක් මට දැනේනේ. මට ගෙදරින් එළියට බහින්න ඕනා.'' යනුවෙන් තස්ලිම් සඳහන් කළේය.
ඒ පිළිබඳව ද බීබීසී සිංහල සේවය මහජන ආරක්ෂක අමාත්‍යවරයාගේ අවධානය යොමු කළේය.
''පොලීසිය දාලා තියෙන්නේ එතුමාගේ ආරක්ෂාවට. ඒකෙන් අදහස් කරන්නේ නෑ ඔහුව කාමරකට දාලා වහලා තියෙන එක. ඒක වැරදියි. ඒ ගැන හොයලා බලන්නම්.'' යනුවෙන් අමාත්‍යවරයා ඊට ප්‍රතිචාර දැක්වීය.
තස්ලිම් දුක්වන කාරණය
සහරාන් ඇතුළු කණ්ඩායම පිළිබඳව, පාස්කු ඉරු දින ප්‍රහාරය එල්ල වීමට පෙර සිටම ආරක්ෂක අංශ දැන සිටියේය. එහෙත් ඔවුන් අත්අඩංගුවට ගෙන 2019 අප්‍රියල් 21 සිදුවූ ප්‍රහාරය වළක්වා ගැනීමට ආරක්ෂක අංශ අසමත් විය. ඒ සම්බන්ධයෙන් තස්ලිම් ට ඇත්තේ දැඩි කනස්සලකි.
''ප්‍රහාරයෙන් පස්සේ පැය 24ක් යන්න කලින් කී දෙනෙක්ව අත්අඩංගුවට ගත්ත ද ? ඇයි ඒක කලින් කරන්න බැරි වුණේ?'' යනුවෙන් තස්ලීම් ප්‍රශ්න කරයි.
එසේ ක්‍රියාත්මක වූයේ නම් තමන් කළ කැපකිරීමට වැඩි වටිනාකමක් ලැබෙන බව අත් වාරුවට බරදී නැගිටින්නට උත්සහ කරමින් තස්ලිම් පැවසුවේය.