කොරෝනා මළ සිරුරු භූමදාන කිරීම අනතුරක්ද? ශ්‍රී ලංකා ප්‍රජා වෛද්‍යවරුන්ගේ සංගමයේ නිගමනය

A Policeman stands guard as protesters hold placards during a demonstration against the government policy of forced cremations of Muslims who died of the Covid-19 coronavirus, outside a cemetery in Colombo on December 31, 2020

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

මළ සිරුරු භූමදානය කිරීමෙන් කොරෝනාවෛරසය පැතිරෙන බවට ප්‍රබල සාක්ෂි නොමැති අතර, දැනට පවතින විද්‍යාත්මක සාක්ෂි සහ ගෝලීය මාර්ගෝපදේශ අනුව යමින් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිර්දේශ කරනු ලබන දැඩි මාර්ගෝපදේශ අනුව ශ්‍රී ලංකාවේ පුරවැසියන්ට ඔහුගේ හෝ ඇයගේ සහ ඔවුන්ගේ පවුල්වල අභිමතය පරිදි ආදාහනය කිරීමට හෝ භූමදාන කිරීමට ඉඩ දිය යුතුව ඇතැයි ශ්‍රී ලංකා ප්‍රජා වෛද්‍යවරුන්ගේ සංගමය (CCPSL) පවසයි.

ශ්‍රී ලංකා ප්‍රජා වෛද්‍යවරුන්ගේ සංගමය එම නිගමනය ප්‍රකාශයට පත්කරනු ලැබ තිබෙන්නේ කෝවිඩ්-19 වෛරසය ආසාදනය වීමෙන් මරණයට පත්වන්නන් සම්බන්ධයෙන් බලපැවැත්වෙන අනිවාර්ය ආදාහනය පිළිබඳව ප්‍රකාශයට පත්කරනු ලැබ ඇති අධ්‍යයන පත්‍රිකාවක් මගිනි.

ශ්‍රී ලංකාවේ හිටපු ප්‍රධාන වසංගත රෝග විශේෂඥ, වෛද්‍ය නිහාල් අබේසිංහ සංගමයේ සභාපතිවරයා වන අතර, වත්මන් ප්‍රධාන වසංගත රෝග විශේෂඥ, වෛද්‍ය සුදත් සමරවීර එහි උප සභාපතිවරයාය. ප්‍රජා වෛද්‍ය විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාරිනී, වෛද්‍ය අනුජි ගමගේ සංගමයේ ලේකම්වරිය ලෙස කටයුතු කරයි.

මළ සිරුරුවලින් නව කොරෝනාවෛරසය ආසාදනය වීමේ අවදානම පිළිබඳව අදහස් දක්වන ප්‍රජා වෛද්‍යවරුන්ගේ සංගමය, ශ්වසන රෝග පිළිබඳ ජාතික මධ්‍යස්ථානය (NCIRD) විසින් 2020 ඔක්තෝම්බර් මස යාවත්කාලීන කරන ලද අළුත්ම විද්‍යාත්මක පැහැදිලි කිරීම අනුව සාර්ස්-කොවිඩ්-2 රෝගය පැතිරීම මූලික වශයෙන් ශ්වසන ජල බිඳිති හරහා ආසාදනය වෙන බව පැහැදිලිව තහවුරු කර ඇත.

ඒ අතරම, සම්බන්ධතා සම්ප්‍රේෂණය සහ වාතයෙන් සම්ප්‍රේෂණය වීමත් සිදුවිය හැකි නමුත් සම්ප්‍රේෂණය ආසාදනය වියහැකි ප්‍රධාන මාර්ගය නොවන බවත් සංගමය සඳහන් කරයි.

ශ්‍රී ලංකා ප්‍රජා වෛද්‍යවරුන්ගේ සංගමය

ඡායාරූප මූලාශ්‍රය, CCPSL

ඡායාරූප ශීර්ෂ වැකිය, ශ්‍රී ලංකා ප්‍රජා වෛද්‍යවරුන්ගේ සංගමය

මෙම යාවත්කාලීන කරනලද විද්‍යාත්මක නිගමනය ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් 2020 ජූලි මාසයේ කලින් නිකුත්කරන ලද සාක්‍ෂි සංක්ෂිප්තයට සමාන බව පෙන්වාදෙන ශ්‍රී ලංකා ප්‍රජා වෛද්‍යවරුන්ගේ සංවිධානය, මිලියන අසූවකට අධික ආසාදිත ප්‍රජාව සහ මිලියන 1.7කට අධික මරණ ප්‍රමාණය අනුව සාර්ස්-කොවිඩ්-19 සම්ප්‍රේෂණයවීමට අදාළ සාක්ෂිවල වෙනසක් සිදුව නැතැයි ද ප්‍රකාශ කරයි.

BBC

කියවන්න:

BBC

තවදුරටත් කරුණු පැහැදිලි කරන අදාළ ප්‍රකාශනය මෙසේ දක්වයි.

"COVID-19 සම්බන්ධයෙන් මේ වනවිට ප්‍රකාශයට පත්කරනු ලැබ ඇති 85,000 කට අධික විද්‍යාත්මක වාර්තා අතර මළ සිරුරක් හරහා වෛරසය සම්ප්‍රේෂණය වීමක් පිළිබඳ එකදු සිද්ධියක්වත් වාර්තා වී නොමැත. 2020 මැයි මාසයේදී ප්‍රකාශයට පත් කරන ලද වාර්තාවකින් අධිකරණ වෛද්‍ය වෘත්තිකයන් දෙදෙනෙකුට මළ සිරුරකින් කොවිඩ් -19 වෛරසය ශරීරගත වූ බවක් ප්‍රකාශ විය. එහෙත් එම වාර්තාවේ කතුවරුන් විසින් එම නිගමනයේ දෝෂයක් ප්‍රකාශයට පත් කරමින් පසුව කියාසිටියේ, මළ සිරුරකින් කොවිඩ් -19 සම්ප්‍රේෂණය කළ බවක් එම ලිපියමගින් තහවුරු වී නොමැති බවය."

භූගත ජලය මගින් වෛරසය පැතිරෙන්නේ ද?

"භූගත ජලය හරහා කෝවිඩ් -19 වෛරසය කෙලින්ම පැතිරයාම පිළිබඳ ප්‍රකාශන විද්‍යාත්මකව සනාථ කර නොමැති අතර පානීය ජලය හරහා වෛරසය සම්ප්‍රේෂණය කළ හැකි බවට කිසිදු සාක්ෂියක් ද නොමැති," බව පවසන ශ්‍රී ලංකා ප්‍රජා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, ලෝක මට්ටමින් පැතිරයමින් පවතින කොවිඩ්-19 වසංගත සමයෙහි මළසිරුරු කළමනාකරණය සම්බන්ධයෙන් සිදුකරන ලද විධිමත් අධීක්ෂණ මගින් මළසිරුරකින් එම වෛරසය සම්ප්‍රේෂණයවීමක් පිළිබඳව මෙතෙක් සාක්ෂි ලැබී නැතිබව පෙන්නුම් කෙරෙන බවත් කියා සිටියි.

Skip Facebook post

මෙහි අන්තර්ගතය නැත

වැඩිදුරටත් Facebook බලන්නබාහිර වෙබ් අඩවිවල අන්තර්ගතයට බීබීසී වගකියනු නොලැබේ.

End of Facebook post

සූම් තාක්ෂණය යොදාගනිමින් පසුගිය දෙසැම්බර් 30 වෙනි දින ශ්‍රී ලංකා ප්‍රජා වෛද්‍යවරුන්ගේ සංගමය විසින් සංවිධානය කරන ලද සම්මන්ත්‍රණයකදී ද ජගත් කීර්තියට පත් වෛරස විද්‍යාඥ, මහාචාර්ය මලික් පීරිස් සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ, ඩෙංගු පර්යේෂණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ මහාචාර්ය නීලිකා මලවිගේ ඇතුළු විශේෂඥයෝ මේ කරුණු සනාථ කළහ.

ග්‍රීසියේ කොරෝනාවෛරසය ආසාදිත වී මියගිය පුද්ගලයෙක් දෙසැම්බර් 05 වෙනි දින භූමදානය කළ අවස්ථාවක්

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ග්‍රීසියේ කොරෝනාවෛරසය ආසාදිත වී මියගිය පුද්ගලයෙක් දෙසැම්බර් 05 වෙනි දින භූමදානය කළ අවස්ථාවක්

ජල පද්ධති ආශ්‍රිතව වෛරසය සම්ප්‍රේෂණයවීම සම්බන්ධයෙන් අදහස් දක්වන ප්‍රජා වෛද්‍යවරුන්ගේ සංගමය මෙලෙස පැහැදිළි කරයි.

"ජල පද්ධති තුළ කොවිඩ්-19 සම්ප්‍රේෂණය කළ හැකි ප්‍රධාන ප්‍රභවයන් සහ මාර්ග වියහැක්කේ රෝහල් අපද්‍රව්‍ය, නිරෝධායන මධ්‍යස්ථානවලින් බැහැරකෙරෙන අපද්‍රව්‍ය, මළ මූත්‍ර, කිළිටි අපිරිසිදු මතුපිට ස්ථාන සහ භූගත ජල ප්‍රභවයන් සහ අපිරිසිදු අපද්‍රව්‍ය විය හැකි නමුත් මළ සිරුරු නොවේ. දවස් දෙකේ පටන් හතර දක්වා කාලය තුළ සෙන්ට්‍රිගේට් අංශක 23C දී අපජලයේ කොරෝනා වෛරසය වඩාත් ඉක්මනින් විනාශ වෙන අතර ශ්‍රී ලංකාව වැනි වැඩි උෂ්ණත්ව පරිසරයක් තුළ එම ක්‍රියාවලිය වඩාත් වේගවත් වෙයි."

වෛරසය මළ සිරුරක් තුළ පවතින කාලය

ශ්‍රී ලංකා ප්‍රජා වෛද්‍යවරුන්ගේ සංගමය විසින් නිකුත්කර ඇති ප්‍රකාශනය මෙසේ ද සඳහන් කරයි.

"කෙසේ වෙතත්, මළ සිරුරක වෛරසය පැවැත්මේ කාලසීමාව තවමත් විවාදාත්මක වන අතර, ලෝක සෞඛ්‍ය සංවිධානය, සහ රෝග නිවාරණය හා පාලනය පිළිබඳ යුරෝපීය මධ්‍යස්ථානය (CDC) විසින් කෝවිඩ් -19 ආසදිත යයි තහවුරු කරනු ලැබ ඇති හෝ සැක කරන ලද මළ සිරුරු සම්බන්ධයෙන් රෝහල් වාට්ටු, මෘත ශරීරාගාර, අවමංගල්‍ය ශාලා, සහ ආදාහනාගාර හෝ මිහිදන් කරනු ලබන සුසාන භූමිය තුළ මළසිරුරු හැසිරවීමට අදාළව කටයුතු කළයුතු ආකාරයට අදාළව පුළුල් මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කරනු ලැබ ඇත."

"ඒ අතරම, එකී මාර්ගෝපදේශන මගින් රෝග සම්ප්‍රේෂණය වීමේ අවදානමක් ඇති ඕනෑම අවමංගල චාරිත්‍රයක් දැඩිව පාලනය කෙරෙයි. කෙසේවුවද, ගෝලීය වසංගත මෙම සියළු පාලන වැඩසටහන් පැහැදිලිවම කියා සිටින්නේ, කලින් සඳහන් කළ සියළු ආරක්ෂණ ක්‍රියාමාර්ග සමඟ කොරෝනා ආසාදිතව මරණයට පත්වන්නන්ගේ සිරුරු භූමදාන කිරීම හෝ ආදාහනය කිරීම සිදු කළ හැකි බවය," එහි වැඩිදුරටත් සඳහන් වෙයි.

BBC

තවත් ලිපි:

BBC
අවමගුල් උත්සවයක්

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

සංස්කෘතික ප්‍රවනතාවන්හි බලපෑම

වෛරසය පැතිරීමත් සමඟ මෙම ව්‍යාධිය විශාල මට්ටමින් බෝවෙන් ඇති මට්ටම සමාජය සහ අගුළු දැමීම සහ නිරෝධායනය සමඟ බැඳුන වෛරසය සම්බන්ධයෙන් ඇති භීතිය ඉහළ යාම ස්වාභාවික බවත් එම වෛද්‍ය සංගමය පෙන්වා දෙයි.

"කෝවිඩ් -19 වසංගතය ලොවට බොහෝ පාඩම් උගන්වා ඇති අතර ඉන් එකක් වන්නේ පෞද්ගලික වගකීම වෙනුවට සාමූහික වගකීමේ වැදගත්කම පෙන්වාදීමය. කෝවිඩ්-19 පාලනය කරගැනීම සඳහා ඇති විධිමත් උපාය මාර්ගෝපදේශ අනුගමනය නොකළොත් එය සියළු දෙනාගේ ජීවිත අනතුරට ඇද දැමීමට හේතුවක් වනු ඇත. සමස්ත රාජ්‍ය, සමස්ත සමාජ ප්‍රවේශයේ සැබෑ අරුත මෙයයි. සංස්කෘතිකමය වශයෙන් සංවේදී කාරණා සඳහා විද්‍යාත්මක පිරිවැය ප්‍රතිලාභ ඇගයීමක් අවශ්‍ය කෙරෙන අතර එමඟින් ඇතැම් ප්‍රජා කණ්ඩායම් රෝග හඳුනා ගැනීමේ කටයුතුවලට හවුල්කර ගැනීම, කල්තබා හඳුනාගනු ලැබීම, සම්බන්ධතා හෙළිකර ගැනීම, නිවැරදි තොරතුරු සමඟ ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වීම සහ සෞඛ්‍ය සේවාවන් ලබාගැනීම වැනි රෝග පාලන ක්‍රියාකාරකම් සඳහා සහභාගි කරගැනීමට හැකිවනු ඇත."

ශ්‍රී ලංකා ප්‍රජා වෛද්‍යවරුන්ගේ සංගමය නිකුත් කළ අධ්‍යයන පත්‍රිකාව පහත දැක්වේ:

ශ්‍රී ලංකා ප්‍රජා වෛද්‍යවරුන්ගේ සංගමයේ අධ්‍යයන පත්‍රිකාව (පිටුව 1)
ඡායාරූප ශීර්ෂ වැකිය, ශ්‍රී ලංකා ප්‍රජා වෛද්‍යවරුන්ගේ සංගමයේ අධ්‍යයන පත්‍රිකාව
ශ්‍රී ලංකා ප්‍රජා වෛද්‍යවරුන්ගේ සංගමයේ අධ්‍යයන පත්‍රිකාව (පිටුව 2)
ශ්‍රී ලංකා ප්‍රජා වෛද්‍යවරුන්ගේ සංගමයේ අධ්‍යයන පත්‍රිකාව (පිටුව 3)

කියවන්න: